හේරත් මහතා මේ අදහස් පලකලේ කටුපොත, කිරිමැටියාව ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන "ග්‍රෝමැක්ස් ඇග්‍රෝ" (Gromax Agro) ආයතනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමින්. විශේෂයෙන් ගව, කුකුල්, සූකර, එළු සහ බැටළු පාලනයේ නිරත සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ගොවිපළ තුලින් ලැබෙන සත්ත්ව අතුරු ඵල මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කර අමතර ආදායමක්ද ලබා ගත හැකි බවද ඔහු කියා සිටියේය.
මේ වන විටත් ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින් ලියාපදිංචි කරලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක ව අතර පශු සම්පත් ක්ෂේත්‍රයේ මේ පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන ව්‍යවසායකයින් හට තම කොට්ඨාශයේ පශු වෛද්‍ය කාර්යාලය හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ලියාපදිංචි වීමට අවශ්‍ය මඟ පෙන්වීම මේ වනවිටත් ලබා දී ඇත. ඒ අනුව අදාල ගොවි මහත්වරුන්ට ඉදිරියේ දී අවශ්‍ය තාක්ෂණය හා පුහුණුව කඩිනමින් ලබාදෙනු ඇති අතර එමගින් පැරණි කිරි ගොවියා , කුකුල් ගොවිපල හිමියා රටට හිතැති කාබනික පොහොර ව්‍යවසායකයෙක් බවට පත්කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවද ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත් එසේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ නොවන ගොවි මහත්වරුන්ට තම ගොවිපලේ එක් වන ගොම පොහොර , එලු පොහොර , කුකුල් පොහොර ලගම කොට්ඨාස පශු වෛද්‍ය කාර්යාලය හරහා පශු වෛද්‍ය නිලධාරීන් ගේ හා ගොවිජන සංවර්ධන නිලධාරීන් ගේ මැදිහත් වීමෙන් අදාල නිෂ්පාදකයන් වෙත අලෙවි කිරීමේ යාන්ත්‍රණයක් මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ සදහා ගොවිපල හිමියන්ට දෛනිකව හෝ මාසිකව ලබා දිය හැකි සත්ත්ව අපද්‍රව්‍ය ප්‍රමාණයන් පිළිබද ව අදාල කොට්ටාශ පශු වෛද්‍ය නිලධාරීන්ව කඩිනමින් දැනුවත් කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.
එමඟින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා විශාල උනන්දුවක් දක්වන එහෙත් අදාළ අමුද්‍රව්‍ය ලබා ගැනීමට අපහසු තරුණ ප්‍රජාවට මෙම අපද්‍රව්‍ය ලබා ගෙන තමන්ගේ ව්‍යාපාරය ගොඩනඟා ගත හැකි බවත් එමඟින් රටේ කාබනික පොහොර අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරා ගත හැකි බවත් ඔහු කියා සිටියේය.
රසායනික තෙල් පොහොර භාවිතා කිරීමෙන් තොරව කාබනික වගාවන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල සඳහා පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවියන්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයන්ට විවෘත ආරාධනාවක් කරන බව ද පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේය.
මෙහිදී මෙම ආයතනයේ හිමිකරු වන අනුර සුසන්ත මහතා පවසා සිටියේ වසර 15 ක පමණ සිට තමා කාබනික නිෂ්පාදනය කරන බවත් එම පොහොර ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් වෙතම ලබා දෙන බවයි. වර්තමානයේ කාබනික පොහොර සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ඒ අනුව එම ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟයක් පවතින බැවින් ඒවා මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වන අතර මේ වන විට ඔහු මසකට කාබනික පොහොර ටොන් 400 ක් පමණ නිපදවන බවත් පැවසුවේය.