පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය’ වැලිසර නාවික සංකීර්ණයේ දී විවෘත කෙරේ

    ජූනි 26, 2021

    අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය ‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය’ ලෙස නම් කර නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොමාණ්ඩර් (මියගිය) පරාක්‍රම සමරවීර නාවික නිලධාරියාගේ දයාබර භාර්යාව වන සුදර්ශනී සමරවීර මහත්මියගේ සහභාගීත්වයෙන් (2021 ජුනි 23) වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙ‍රිණි.

    නාවික හමුදාව තුළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කර නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතාවන් ඔප් නැංවීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් වත්මන් නාවික හමුදාධිපති එවකට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ වකවානුවේදී 2020 මාර්තු මස 18 වන දින මෙම ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණයේ ඉදිකිරීම් වැලිසර නාවික සංකීර්ණයේදී ආරම්භ කෙරිණි. ඒ අනුව කඩිනමින් වැඩ අවසන් කරන ලද මෙම ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයෙහි වොලිබෝල්, පැසි පන්දු, බැඩ්මින්ටන්, දැල් පන්දු මෙන්ම කරාතේ, ජූඩෝ, තයිකොන්ඩෝ, මල්ලවපොර, වූෂූ සහ කබඩි යන ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය සියළු පහසුකම් වලින් මෙන්ම විශාල ප්‍රේක්‍ෂක පිරිසකට ද නැරඹීමේ පහසුකම් වලින් සමන්විත වේ.

     

    කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ශ්‍රී ලංකා නාවික නෞකා රණවිරු වේග ප්‍රහාරක මුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් 1996 වර්ෂයේ ජූලි මස 19 වන දින මුලතිවු මුහුදේ සන්නද්ධ නෞකා පෙළකට ආරක්‍ෂාව සපයමින් සිටියදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ ඇති වූ දරුණු සටනකදී ජීවිත්‍ෂයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවෙක් වන අතර, සතුරාට එරෙහිව ප්‍රදර්ශනය කළ අභීත සහ වික්‍රමාන්විත භාවය වෙනුවෙන් ඔහු වෙත වීර වික්‍රම විභූෂණ පදක්කම (ඩබ්ඩබ්වී) පිරිනැමීමට කටයුතු කර ඇත. තවද, ඔහු ජවසම්පන්න රග්බි ක්‍රීඩකයෙක් ලෙස නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායකත්වය දරමින් 1989 – 1990 වකවානුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අත්කර දුන් ජයග්‍රහණ වෙනුවෙන් නාවික හමුදා වර්ණ දිනාගත් දක්ෂ ක්‍රීඩකයෙකි. ඒ අනුව, කොමාණ්ඩර් (මියගිය) පරාක්‍රම සමරවීර මාතෘ භූමිය වෙනුවෙන් සිදුකළ උතුම් කැපකිරීම සහ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිශේෂී දායකත්වය අනුස්මරණය කිරීම උදෙසා මෙම ගෟහස්ත ක්‍රීඩා සංකීර්ණය ‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය’ ලෙස නම් කෙරුණු අතර, එය අද දින (ජුනි 23) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ විසින් විවෘත කිරීමට කටයුතු කෙරිණි.

     

    තවද, මෙම ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට දායක වූ නාවික හමුදා පූද්ගලයන් ඇගයීමටද මෙහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කරන ලදී.

     

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සදහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති සහ බටහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ක්‍රීඩා කපිතාන් ආර්එස්සීආර් ෆොන්සේකා, කොමාණ්ඩර් (මියගිය) පරාක්‍රම සමරවීරගේ පුතණුවන් දෙදෙනා වන ලුතිනන් කොමාණ්ඩර් (වෛද්‍ය) සමිත සමරවීර සහ ලුතිනන් කොමාණ්ඩර් (සැපයුම්) භාතිය සමරවීර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya