ඔහු මේ බව පැවසුවේ,සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති කොවිඩ් රෝගය පිළිබද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ලොව පුරා සිදුකරන ලද සමීක්ෂණයක දත්ත අනූව ප්‍රථම රැල්ල තුළදී කොවිඩ් ආසාදිත දරුවන්ගෙන් 55%ක් කිසිදු රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවද, ඔවුන් ආසාදිත දෙමාපියන්ගේ හෝ වැඩිහිටියන්ගේ ආශ්‍රිතයන් වීම වැනි හේතුවක් නිසා ඔවුන් හට රෝගය වැළදුනද පරීක්ෂා කිරීමෙන් පමණක් ආසාදිත බවට තහවුරු වී ඇති බවටද වාර්තා වුණු බව වෛද්‍යවරයා පැහැදිලි කළේය.
තවමත් දරුවන් අතර කොවිඩ් රෝගය සම්බන්ධව බලපෑම අඩු බවද, ආසාදිත දරුවන් අතර උණ, උගුරේ අමාරුව, කිවිසුම් යාම, ඇගපත වේදනාව, ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග, වමනය, බඩේ අමාරුව ආදී රෝග ලක්ෂණ පැවතිය හැකි බවද මේ සම්බන්ධව දෙමාපියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.
දරුවන් අතර හදුනාගත හැකි අවධානම් කණ්ඩායම් වශයෙන් අවුරුද්දට අඩු බිළිදුන්, නිදන්ගත ආබාධ සහිත දරුවන්, සමහර රෝගී තත්ත්වයන් සහිත දරුවන් මෙන්ම ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා ඇති දරුවන් හදුනාගත හැකි බවද මෙවැනි දරුවන්ට කොවිඩ් රෝගය සෑදුනහොත් සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය සාමාන්‍ය නිරෝගී දරුවන්ට සාපේක්ෂව ඉතාම වැඩි බවද ඔහු පැවසුවේය.
අවුරුදු 08ට වැඩි දරුවන් හට කොවිඩ් රෝගය වැළදී සති කිහිපයකින් පසු යම් රෝගී තත්ත්වයක් ඇතිවිය හැකි බවද, අප රටෙහිද මෙවැනි රෝගී වූ දරුවන් ඉතා සුළු ප්‍රමාණයක් වාර්තා වුණු බවද, එය අප රටේ සියලුම කොවිඩ් වැළදුණු දරුවන්ගේ ප්‍රතිශතයක් ලෙස ගත්කළ 1%කටත් වඩා ඉතා සුළු අගයක් බවද, එබැවින් දෙමාපියන් මේ පිළිබදව අනිසි බියක් ඇතිකරගත නොගෙන අවධානයෙන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසුවේය.
මෙහිදී දෙමාපියන් විශේෂයෙන් නිරීක්ෂණය කළ යුතු රෝග ලක්ෂණ වශයෙන් මලානික බව, ආහාර ප්‍රතික්ෂේප කිරීම, නිතර නිදාගැනීම, අප්‍රාණික බව, සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩු වීම, වමනය, පාචනය, දින දෙකකට වඩා පවතින උණ,මුත්‍රා පිටවීම අඩුවීම හා ශරීරයේ ලප මතුවීම ආදිය දරුවා පෙන්නුම්කරයි නම් ඉක්මණින් දරුවා ප්‍රතිකාර සදහා රෝහලක් වෙත යොමු කළ යුතු බවද, රෝහල් වලින් කොවිඩ් වැළදේ යැයි ඇතිකරගන්නා අනිසි බිය සහ අනිසි උපකල්පන හේතුවෙන් දරුවා රෝහල් වෙත රැගෙන නොයා නිවසේ රදවා තබාගැනීම නොකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
වෙනත් නිදන්ගත රෝග සදහා දැනට ප්‍රතිකාර ලබාගන්නා දරුවන් මෙම අවස්ථාවේදීද සායන සදහා යොමුකරවමින් ප්‍රතිකාර ලබාදීම වැදගත් බවද, දරුවන් හට නියමිත වයස් වලදී සාමාන්‍ය ලෙස ලබාදෙන ප්‍රතිශක්තීකරණය අදාල සෞඛ්‍ය නිලධාරීන් සමග සම්බන්ධවී නියමිත දින වලදී ලබාදීමට කටයුතු කරන ලෙසද වෛද්‍යවරයා කියා සිටියේය.
මෙම දින වල දරුවන් පාසල් ගොස් අධ්‍යාපනය නොලබන හෙයින් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන බැවින් ජංගම දුරකතනයට, රූපවාහිනී තිරයට සහ පරිගණක තිරයට දරුවන් යොමුවී සිටීම හේතුවෙන් ඔවුන් සම්බන්ධව දෙමාපියන් නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් බවද, විශේෂයෙන් දරුවන් බොහෝ වේලාවක් පරිගණක තිරයට යොමුවීම දරුවන්ගේ කායික, මානසික සෞඛ්‍යයට මෙන්ම ඔවුන්ගේ වර්ධනයටද බලපෑ හැකි බව වෛද්‍යවරයා සදහන් කළේය.
මෙම දිනවල දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් දරුවන්හා එකට කටයුතු කරමින්, විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙමින්, දරුවන්ව ඒකාකාරීබවින් මුදවමින් ඔවුන් සමග සතුටින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබදවද පෙන්වා දුන්නේය.