නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රමදායකත්වයෙන් කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි සාමාන්‍ය වාට්ටු සංකීර්ණයක් කොවිඩ් 19 ආසාධිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු විශේෂ ප්‍රතිකාර ඒකකයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු 2021 මැයි මස 20 වන දින නාවික හමුදාව විසින් ආරම්භ කරන ලදී.
තවද, මේ සඳහා වැය වූ රුපියල් මිලියන 150ක පමණ පිරිවැය සඳහා රජය මඟින් මෙන්ම දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් විසින් මූල්‍ය දායකත්වය ලබා දී ඇත. ඒ අනුව, අවධානම් තත්වයේ පසුවන ඔක්සිජන් චිකිත්සාව අවශ්‍ය රෝගීන් විසි දෙනෙකු (20) සඳහා එකවර විශේෂ වෛද්‍ය උපකරණ මඟින් ඔක්සිජන් ලබාදී එම රෝගීන් අධීක්‍ෂනය කිරීමේ විශේෂ පහසුකම් සහිත මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයෙහි නවීකරණ කටයුතු සති 05ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් අවසන් කර කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත භාරදීමට නාවික හමුදාවට හැකි විය
මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය, හිටපු වැඩ බලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු කොමදෝරු කමල් බෝම්බුගලගේ, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු එම්ජේආර්ආර් මැදගොඩ, කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු නාවික හමුදා නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.