පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාව

    ජූලි 07, 2021

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා එකඟවිය.

    මේ අනුව අදාළ කෙටුම්පත ලබන ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


    රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාවට හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ටිරාන් අලස් යන මහත්වරු ද කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටියහ.

    මෙහිදී ආරක්ෂක ලේකම්වරයා අදහස් දක්වමින් පවසා සිටියේ මුලදී ආරක්ෂක අංශවල සාමාජිකයන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා දීම සදහා පමණක් පැවති මෙම විශ්වවිද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී ලබා දුන් උපදෙස් පරිදි සිවිල් දරුවන්ටන්ටත් අධ්‍යාපනය ලබා දීම සදහා පුළුල් කළ බවයි.

    වර්තමානය වන විට රැකියා වෙළදපොළට සරිලන විනයවත් සිසු පරපුරක් බිහි කරන මෙම විශ්ව විද්‍යාලයට දෙමාපියන්, සිසු දරු දැරියන් ඇතුළු සමාජයේ ඉහළ පිළිගැනීමක් සහ ඉල්ලුමක් හිමිව ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා නිශ්චිත කාල සීමාවක් තුළ පාඨමාලා අවසන් කිරීම ද එයට ප්‍රධාන හේතුවක් වී ඇති බව පැවසීය.

    එසේම ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුතුව මේ පාඨමාලා සියල්ල සංවිධානය වන බවත් උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරණු පිණිස මෙම විශ්ව විද්‍යාලය ඉදිරියේදී කටයුතු කරන බවත් ගුණරත්න මහතා පැවසීය.

    ‘’මෙම විශ්ව විද්‍යාලය පිළිබද මේ පනතේ ආරම්භය සිදුවුණේ 2009 වසරේදී. වසර 12 ක අතීතයක් මෙම පනතට තියෙනවා. විද්වතුන් විශාල පිරිසක් එක්වී මෙය සකස් කරලා නීති කෙටුම්පත් සම්පාදක වෙතටත්, අධ්‍යයන ගණනාවකින් පසු නීතිපති වරයාටත් යොමුකිරීමෙන් අනතුරුව 2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එවකට ආරක්ෂක අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා උත්සහ කළද විවිධ හේතු නිසා ඒ අවස්ථාවේ එය සිදුකරන්න නොහැකි වුණා’’ යැයිද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැවසීය.

    මේ වන විට පීඨ 11 කින් යුතු , හමුදා සහ සිවිල් සිසුන් 8000 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන මෙම විශ්ව විද්‍යාලයට ලෙ‍ාව හමුදා විශ්ව විද්‍යාල අතර වර්ගීකරණයේ 4 වැනි ස්ථානය ද එක් අවස්ථාවක හිමිවූ බව මෙහිදී අදහස් දැක්වූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා සදහන් කළේය. 1981 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් මෙම විශ්ව විද්‍යාල පිහිටුවා ඇති බවත්, පනත අවස්ථා කිහිපයකදීම සංශෝධනය වුවද විශ්ව විද්‍යාලයකට අවශ්‍ය ව්‍යුහය නෛතිකව ලැබී නොමැති බවත් සදහන් කළ උපකුලපතිවරයා එබැවින් මෙම විශ්ව විද්‍යාලයේ කටයුතු වඩාත් විධිමත් ලෙස ඉහළ තලයකට ඔසවා තැබීම සදහා මෙම පනත වැදගත් වන බවද කාරක සභාවට පෙන්වා දුන්නේය.

    කාරක සභාවේදී මන්ත්‍රීවරු අදහස් දක්වමින් පවසා සිටියේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා අවස්ථාව නොලැබෙන එහෙත් දක්ෂ දරු දැරියන් බොහෝ දෙනෙක් වෙනත් රටවල විශ්ව විද්‍යාල සදහා අධ්‍යාපනය හැදෑරීමට පෙළඹීම නිසා විශාල මුදලක් රටටද අහිමි වන බවයි. එබැවින් වඩාත් ගුණාත්මක පාඨමාලා අවම මුදලක් යටතේ හැදෑරීමට මෙම විශ්ව විද්‍යාලය හරහා හිමිවන අවස්ථාව ඉතා වැදගත් බවද ඔවුහු ප්‍රකාශ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya