පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කාබනික පොහොර ලබාදීමේ ගැටළුවක් නෑ- අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    ජූලි 09, 2021

    මහ කන්නය වන විට අවශ්‍ය කාබනික පොහොර ලබාදිය හැකි බවත් ඒ පිළිබදව කිසිදු ගැටලුවක් නොමැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (09) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කාබනික පොහොර භාවිතය පිළිබදව විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    පසුගිය අප්‍රේල් 27 වනදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙරටට රසායනික පොහොර ආනයනය කිරීම, පළිබෝධ නාශක, කෘමි නාශක, වල් නාශක ආදී සියල්ල ආනයනය තහනම් කිරීමට පියවර ගත් බව ද මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් තිබූ බවද මැතිවරණ ප්‍රකාශයේ ද මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    පොහොර ආනයනය නැවැත්වීමත් සමග වැඩ යල කන්නයේ දී පවතින රසායනික පොහොර කළමනාකරණය කරගනිමින් ගොවීන්ට ලබාදීමේ විශාල අභියෝගයට ආණ්ඩුවට මුහුණපෑමට සිදුවූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, රසායනික පොහොර ආනයනය අත්හිටුවීමේ තීන්දුවත් සමග ගොවීන් කලබල වෙතැයි සිතූ බවත්, ප්‍රමාණවත් පොහොර පැවති හෙයින් පොහොර හිඟයක් ඇති නොවෙතැයි තමා කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ප්‍රකාශ කළද අවාසනාවකට මෙම තීන්දුව ගැනීමත් සමග වෙළදුන් පොහොර රැගෙනගොස් වැඩි මිලට විකුණමින්, ඇතැම් ගොවීන් අතිරික්ත ප්‍රමාණ මිලදී ගනිමින් සහ ඇතැම් කෘෂි නිලධාරීන් පොහොර අවිධිමත් ලෙස භාවිතා කරමින් කටයුතු කළ නිසා පොහොර ජාවාරමක් සිදු වූ බවය.

    පොහොර හිඟයක් ඇතිවීම අවම කරමින් වහාම සමාගම් සතුව පැවති පොහොර ප්‍රමාණය කඩිනමින් ගොවීන්ට බෙදාදීමට කටයුතු කළ බවද, මේ වන විට වී වගාවට 5% ක් වැනි රසායනික පොහොර හිඟයක් හැර, එම සුළු හිඟයද පවතින කාබනික පොහොරවලින් සපුරාගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නවතා කාබනික කෘෂිකර්මාන්තයට පියනැගීමත් සමග මෙරට හෙක්ටයාර ලක්ෂ 15 – 16 ආසන්න ප්‍රමාණයක වී, එළවළු, රබර්, තේ ආදී කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන්ට කාබනික පොහොර ලබාදීමේ අභියෝගය ආණ්ඩුව හමුවට පැමිණි බවද මෙම පොහොර ලබාදීමට අවශ්‍ය නිර්දේශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විමසූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    කොම්පෝස්ට් නිස්පාදනය සදහා ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමෙන් ව්‍යාපෘති අරඹා ඇති බව කී අමාත්‍යවරයා, කාබනික පොහොර නිපදවන සෑම ගොවියෙක් සඳහාම හෙක්ටයාරයකට රුපියල් 12500ක් ගෙවීමට තීන්දු කර ඇති බවද, ඊට අවශ්‍ය තාක්ෂණය ලබා දී ප්‍රමිතිය පරීක්ෂා කරන අතර මෙතෙක් කාලයක් රසායනික පොහොර ආනයනය වෙනුවෙන් රජය වියදම් කළ රුපියල් බිලියන 100ක මුදල විදේශ රටවල සමාගම් 04කට ගිය ද මින්පසු එම මුදල ගොවීන් ලක්ෂ 21ක් අතරට ලැබෙන බවය.

    ගොවීන් සමඟ කොම්පෝස්ට් නිපදවන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. මහාපරිමාණ කොම්පෝස්ට් නිෂ්පාදනයට ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, වතු සංවර්ධන මණ්ඩලය, සිවිල් ආරක්ෂන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුධ හමුදාව ආදී ආයතන රැසක් ඒක්ව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    ගොවීන් ලක්ෂ 02කට වැඩි ප්‍රමාණයක් මේ වන විට තමන්ගේම කොම්පෝස්ට් නිෂ්පාදනයට කැමැත්ත පළ කර ඇති බවද සමස්ත ගොවීන්ගෙන් 50%ට වැඩි ප්‍රමාණයක් මුදල් ගෙවීම යටතේ කොම්පෝස්ට් නිපදවාගැනීමට කැමැත්ත පළ කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    නිෂ්පාදනයේ අඩුවක් සිදුවුවහොත් නිෂ්පාදනය වැඩි මිලකට මිලදීගැනීමට ආණ්ඩුව සූදානම් බවද, ගොවියාට කිසිසේත් ආර්ථික අවාසියක් වීමට ඉඩ නොදෙන අතර ආහාර සුරක්ෂිතතාවය පිළිබදව ද අවධානය යොමුවී ඇති බව ද 150000ක් වූ පුරන් කුඹුරු සියල්ල ඉදිරියේදී අස්වැද්දීමට බලාපොරොත්තු වන අතර ගෙවල් ලක්ෂ 30ක් හදුනාගෙන අවශ්‍ය බීජ ලබාදෙමින් තමන්ගේම එළවළු වැවීමට සුදුසු වැඩපිලිවෙලක් සකසා දීමට අපේක්ෂිත බවද අවධාරණය කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya