කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් අද පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොඟය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියාය.
ඇමරිකානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද ආයතනය (USAIDS) අධ්‍යක්ෂ රීඩ් ඇච්ලිමන් මහතා (Mr. Reed Aeschliman), ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූසන් වෝක් (Mr. Susan Walke) යන මහත්වරුන් පැමිණ සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් එන්නත් කොඟය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදුන් අතර, මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ද සහභාගි විය.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් - 19 වසංගතය පාලනය කිරිමට වැදගත්වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස එන්නත් ලබාදීම අප රටට මහගු අවස්ථාවක් බවත්, කොවිඩ් පදනම හරහා ඇමරිකානු රජයෙන් ලබාදුන් මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව පැවැසිය.