පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නගරයේ වැසි ජලය පාලන ව්‍යාපෘති 05 ක වැඩ අවසන් කෙරේ

    ජූලි 30, 2021

    * මරදාන උතුර, නාගලගම් වීදිය දකුණ, කොළොන්නාව කළු පාලම, ගොතටුව ගේට්ටුව, අඹතලේ ගේට්ටුව යන ජල පොම්පාගාර ඉදිකර අවසන්.

    * සෑම පොම්පාගාරයක් ම අති නවීන තාක්ෂණයෙන් සමන්විතයි.

     නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරෙන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උප ව්‍යාපෘති 05 ක වැඩකටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බව, එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    කොළඹ අගනගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැස්ස හේතුවෙන් එකතුවන ජලය නිසා ඇතිවන ජල ගැලීමෙන් යටවෙන කොළඹ නගරය මුදාගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු මරදානේ සාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය, සාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය, කොළොන්නාව කළු පාලම ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය, ගොතටුව ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය සහ අඹතලේ ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය යන උප ව්‍යාපෘති පහ එසේ වැඩ අවසන් වූ ව්‍යාපෘති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පෙන්වා දෙයි.

    වසර ගණනාවක් තිස්සේ පැවති වැසි ජලයෙන් කොළඹ යටවීම පිළිබඳව සිදුකළ සාර්ථක ප්‍රායෝගික පර්යේෂණවලින් පසුව ක්‍රියාත්මක කළ මෙම උප ව්‍යාපෘති පහ මඟින්, වැසි ජලයෙන් සිදුවන ජල ගැලීම් ඉතා සාර්ථක ලෙස පාලනය වූ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. තුෂාරි මහත්මිය පවසයි.

    වැසි ජලය පාලනය කෙරෙන මෙම පොම්පාගාර, අති නවීන විද්‍යාත්මක තාක්ෂණයෙන් සමන්විත වන බව පෙන්වා දෙන ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය, සෑම පොම්පාගාරයක් ම පාලන මැදිරියකින්, පැනල් රූම් එකකින්, පම්පින් රූම් එකකින්, ඉන්ලෙට් හා අවුට්ලෙට් කාමර දෙකකින් සමන්විත බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    කොළඹ අගනගර ප්‍රදේශවලට ඇතිවන අධික වැසි හේතුවෙන් හටහන්නා ජල ගැලීම් මත සිදුවන පාරිසරික මෙන්ම සමාජයීය බලපෑම් අවම කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, එම සේවා පහසුකම් සැපයීම සහ පළාත් පාලන ආයතනවල සේවාවන් දියුණු කිරීමට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණු ලෙස දක්වා තිබේ.

    ඉතා කඩිනමින් සහ ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙහි වැඩ කටයුතු, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ අයහපත් කාලගුණ තත්ත්වයන් මත යම් තරමකින් ප්‍රමාද වී තිබිණ. ඒ අනුව 2018 ජුනි මාසයේ වැඩ නිමවීමට තිබූ ඇතැම් ව්‍යාපෘති 2021 වසරේ අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ.

    කොළඹ අගනගර වැසි ජලය පාලනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා සමස්ත ආයෝජනය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් වෙන්කර ඇති අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 213 ක් ලෝක බැංකු සහනදායි ණය පදනම මත ලබා දී තිබේ. එයට අමතරව ශ්‍රී ලංකා රජය ද ඇමරිකානු ඩොලර් මිලියන 108 ක් ආයෝජනය කර ඇත.

    මෙම ව්‍යාපෘතින්වල මේ දක්වා සිදුකළ වැඩ කටයුතු සම්බන්ධයෙන් අනාවරණය වූයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පසුගිය දා සහභාගී වූ නිරීක්ෂණ හා ඇගයීම් චාරිකාවකදීය.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා හමුවී ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ව්‍යාපෘති නිලධාරින්ට ලබාදීමට ඉල්ලීමක් කිරීමට අදහස් කරන බවයි.

    “මේ වෙනකොට කොළඹ නගරයේ වැසි ජලයට යටවෙන ප්‍රදේශ පාලනය කිරීම ක්‍රියාත්මකයි. ඒ එදා ආරක්ෂක ලේකම්ව සිටි, වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන්. එදා හිටපු අතිගරු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි මෙම ව්‍යාපෘතිය එදා ඇරඹුණේ. අද එහි වැඩ කටයුතු අවසන් අදියරට ඇවිත්. ඉතිං අපේ බලාපොරොත්තුව ඉතාමත් ඉක්මණට ඉතුරු වැඩ කොටස් ටික අවසන් කර මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමයි. අපි කවුරුත් දන්නා කාරණයක් වෙන්නෙ ඉතාමත් පොඩි වැස්සකට වුවත් කොළඹ නගරය වැසි වතුරින් යට වන බවයි. එතනදි කරදරයට සහ පීඩාවට පත් වෙන්නේ ජනතාවමයි. වර්තමාන ජනාධිපතිවරයා එදා නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටින විට ඒ දුටු දර්ශනය මතිනුයි මේ වැඩපිළිවෙළ ඇරඹෙන්නේ. කොළඹ නගරයේ වැසි ජල ගැලීම් වළක්වන්න ජල පොම්පාගාර ගණනාවක් ඇති වෙන්නෙ ඒ අනුවයි. එමඟින් කොළඹ නගරයේ වැසි ජලය පාලනය කර ජනතාව විඳින අපහසුතා දුරු කරලීමට අපට පුළුවන් වුණා. මෙම වැඩසටහන රජය පටන් ගත්තේ නිවැරදි ආකාරයට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පසුවයි. මෙම ව්‍යාපෘතිය තුළින් ජනතාව තවදුරටත් අමාරුවේ වැටෙන බවට දුර්මත ගෙනියන්නන් ගැන අපට ඇත්තේ කනගාටුවක් පමණයි. මෙම සියල්ල සැලසුම් කළේ ඉතාමත් ඉහළ තාක්ෂණික ඥාණයක් තිබෙන ඉංජිනේරුවන් බව කිව යුතුයි. එහි වරදක් අද වනතෙක් දක්නට නොලැබීම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට එක් උදාහරණයක් පමණයි. අවසන් වශයෙන් කිව යුත්තේ ව්‍යාපෘතිය තුළින් ජනතාවට ප්‍රශ්නයක් වුවහොත් එයත් බාරගෙන එයටත් විසඳුම් ලබා දෙන බවයි.”
    යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට වෙරළ සංරක්‍ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, පහත්බිම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එම්.ඒ.එස්.එම්.කේ. සේනාධීර, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (විශේෂ ව්‍යාපෘති) ආර්.එන්.එන්.ඩී. රත්නායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. තුෂාරි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් මෙම ඉදිකිරීම් කටයුතු වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්‍ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන් විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya