එහිදී නව සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය ඉඩම් පරික්ෂාව සිදුවූ අතර ඒ සදහා යෝජිත මූලික සැලැස්ම පිළිබදවද සාකච්ඡාවට ලක්විය.
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළත්, කටුනායක අපනයන සැකසුම් කළාපයත් පිහිටීම තුළ ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රදේශයක සංචාරක ආකර්ෂණයත්, ඒහා සම්බන්ධ පහසුකම් වැඩිදියුණු කිරීමත් විශේෂයෙන් ජනජීවිතය ක්‍රමවත් කිරීමත් මෙම සංවර්ධන සැලසුමේ අරමුණ වියයුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සදහන් කළාය. කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ තුළ වාර්ෂිකව සැරිසරන ගුවන්මගීන් ප්‍රමාණය මිලියන 10 ත් 15ත් අතර පවතින බැවින් එම පිරිස ක්‍රමාණුකූලව ප්‍රදේශය තුළට ගෙන්වාගැනීමේ උපායමාර්ගික වැඩපිළීවෙලක් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් එමගින් සුවිශේෂී ආර්ථික වාසියක් ප්‍රදේශයේ ජනතාවට ලැබිය හැකිබව අමාත්‍යවරියගේ අදහස විය. මෙහිදී සැලැස්මේ මූලික යෝජනා කිහිපයක් සාකච්ඡාවට ලක්විය.
1. කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයට අන්තර්ජාතික මට්ටමේ ෂොපින් මෝල් එකක්
2. කටුනායක 18 කණුව අක්කර 05ක භුමී ප්‍රදේශයක පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් පහසුකම් සහිත රථ අංගණයක්
3. ඇවරිවත්තට මල්ටි මොඩල් බස් ස්ටෑන්ඩ් එකක්. අක්කර 03ක භූමි භාගයක පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් පහසුකම් සහිත ටැක්සි පහසුකම්වලින් යුක්තය.
4. සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ අක්කර 32ක භුමිභාගයක එකෝ ටුවරිසම් ව්‍යාපෘතියක්. කඩොලාන පද්ධතියට හානි නොවෙන සංචාරක ආකර්ෂණය සහිත හරිත උයනක්
5. කටුනායක 18 කණුව ඩවීන්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාපිටියක් බවට පත්කිරීම
6. දකුණු කදිරාන රුක්අත්තගහ හංදිය සංවර්ධනවත්ත ඉඩම අක්කර 200ක භුමී භාගයේ කොටසක කටානේ නව නගරය ඉදිකිරීමට යෝජනා කෙරේ. රෝහලක්, වැවක් ඇතුළුව ජොගින් ට්‍රැක්, බයිසිකල් ට්‍රැක් පහසුකම් සහිතය
7. වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාපිටිය සහිත අක්කර 21ක භූමියේ ක්‍රීඩා ගම්මානයක් ස්ථාපිත කිරීමටත් ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාපිටියක් බවට පත්කිරීමටත් ටෙනිස් ක්‍රීඩාපිටියක් ඉදිකිරීමටත් යෝජනා විය.
8. කටාන පොලීසිය අසල පහසුකම් සහිත නිවාස සංකීර්ණයක්
9. ආඩිඅම්බලම පීල්ලවත්ත වැව ප්‍රදේශයේ අක්කර 04ක භුමියක සංචාරක ආකර්ෂණය සහිත ජොගින් ට්‍රැක් එකක්
10. කටාන කැබැල්ලගස් හංදිය පොළ භුමිය සංවර්ධනය කිරීම
මෙම සංවර්ධන සැලැස්ම මගින් අතිශයින් කාර්ය බහුල ජනතාවට මහ මගට ගතවන කාලය, කලට වේලාවට තම ප‍්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබාගැනීම
මෙන්ම අඛණ්ඩව වර්ධනය වන, සංකීර්ණ වන ප‍්‍රවාහන පද්ධතිය මුහුණ දෙන ගැටලූව වඩාත් විද්‍යාත්මක මෙන්ම ඵලදායි තිරසර ක්‍රමවේදයකට විසදාගැනීම, ප්‍රදේශයේ වාණිජ, විනෝදාත්මක හා පාරිසරික වැඩිදියුණු කිරීම් සිදු කිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ක්‍රමවත් ජනජීවිතයක් ගොඩනැංවීම අරමුණ වී ඇත.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර, කටුනායක සීදුව නගර සභාවේ සභාපති චමිත් නිශාන්ත, කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න, කටාන ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා කොඩිතුවක්කු, නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ඒ.එම්.එම් නිශ්ශංක, නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ රූපා රංජනී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.