දිගින් දිගටම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් උද්ඝෝෂණවල නිරත වීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා, මෙම ගුරු ගැටලුව උදෙසා රජයක් ලෙස කෙටි කාලීන විසඳුමක් හෝ ලබා දීමට කටයුතු කළ නොහැකි ද යන්න පිළිබඳව අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වර්තමානයේ උද්ගතව ඇති ගැටළු හේතු කරගනිමින් සුක්ෂම ලෙස දේශපාලනමය වශයෙන් වාසි ලබා ගැනීමට කටයුතු කිරීමට ද පිරිසක් උත්සාහයක නිරත වන බව දක්නට ලැබෙන බවත්, විවිධ බාහිර පාර්ශ්වකරුවන් කිහිපදෙනකුගේ අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම උදෙසා ගුරුවරුන්ව භාවිතා කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවත් කියා සිටියේය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, සියලුම ගුරුවරුන්ගේ අධ්‍යාපන කාර්යය මණ්ඩලයේ නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් සේවයට වාර්තා කරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කොට ඇත්තේ මෙම ගුරු මහත්ම මහත්මීන් සේවයට කැඳවා ගැනීම මඟින් රටේ දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීම අධ්‍යාපන ලේකම්වරයාගේ අභිමතාර්ථය වී ඇති බවත්, ඒ හැරෙන්නට ගුරුවරුන් සේවය අතහැර ගිය සේ සළකන්නට රජයේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් ය.
එපමණක් නොව, ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් සහ ගැටලුවලට විසඳුම් ලබා දීමට මුල්‍ය ප්‍රතිපාදන සැකසුණු විට සහ රටේ ආර්ථිකය ශක්තිමත් වූ විට කටයුතු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යවරයා විසින් දැනටමත් ප්‍රකාශ කොට තිබෙන අතර, වත්මන් ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් ලෙස කටයුතු කරන නමුත් පවතින ආර්ථික තත්ත්වය යටතේ මූල්‍යමය ගැටළු වලට මුහුණ දීමට හේතු වී ඇති නිසා එකී සීමා පැනවී ඇති හෙයින්, ආචාර්ය මණ්ඩල ගුරු මහත්ම මහත්මීන් මේ පිළිබඳව රට ගැන සිතා වැදගත් තීන්දුවකට එළැඹ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතා ඉක්මණින් සේවයට වාර්තා කරනු ඇති බවට සියලු දෙනාම බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.