පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    වසර ගණනකට පසු ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ලාභ ලබයි

    අගෝස්තු 05, 2021

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලසුම් සහ උපදෙස් මත ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, මෙම වසරේ ජූලි මාසයේ දී පමණක් රුපියල් මිලියන 425 ක වාර්තාගත අදායමක් ලැබීමට සමත්ව සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    පසුගිය රජය සමයේ මසකට රුපියල් ලක්ෂ 15 ක ආදායමක් ලබමින් සිටි සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අගමැතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය ජූනි මාසය වනවිට එම ආදායම රුපියල් මිලියන 155 ක් දක්වා සහ ජූලි මාසයේදී එය තුන් ගුණයකට ආසන්න අගයකින් ඉහළ නංවා ගෙන ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.

    2020 වසරේ මාර්තු 05 වැනි දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කරන ලද, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කරන ලද සුපිරි වෙළඳ මධ්‍යස්ථාන ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 17 ක් රටපුරා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සේවාවන් සපයන අතර, පසුගිය කාලයේ වැසීගිය ශාඛා 03 ක් නැවත විවෘත කිරීමට ද සංස්ථාව පියවර ගෙන තිබේ.

    රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලබමින් සිටින මොහොතක, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මෙසේ ලාභ ලැබීම, ව්‍යාපාරික ලෝකයට මෙන් ම දේශීය ආර්ථිකයට ද සුබ ලකුණක් එක්කරන බව සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව පාලානාධිකාරිය සඳහන් කරයි.

    නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිලුම් රත්නායක යන මහත්වරුන් විසින් නව සැලසුම සාර්ථක කරගැනීමට කටයුතු කර තිබේ.

    ප්‍රසිද්ධ සහ පිළිගත් විවිධ වෙළඳ නාම යටතේ නිෂ්පාදනය කළ භාණ්ඩ රැසක් මේ වනවිටත් සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා ප්‍රදර්ශනාගාරයේ අලෙවි කරයි. ඒ යටතේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ, නිවාස සෑදීමේදී බාහිර සහ අභ්‍යන්තර අලංකරණයේදී අවශ්‍ය වන ද්‍රව්‍ය, ගෙවතු, උද්‍යාන අලංකරණයේ දී, කෘෂිකාර්මික කටයුතුවල දී, කර්මාන්ත සහ ඉංජිනේරු සේවා, සූර්යබල ශක්තියෙන් විදුලිය ලබාගැනීමේ දී අවශ්‍ය වන සියලු උපකරණ සහ අමුද්‍රව්‍ය මෙම ශාඛා තුළින් අලෙවි කෙරේ.

    මෙහිදී සැපයෙන අනෙකුත් සේවාවන් ලෙස බ්ලොක් ගල් නිෂ්පාදනය, පිඟන් ගඩොල් යන ආදිය වේ.

    මෙයට අමතරව මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි ව්‍යාපෘති රැසක් ද පවතියි. ඒ යටතේ, පොළොන්නරු වැලි ව්‍යාපෘතිය සහ පැරෑලිය මුහුදු වැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

    පාරිභෝගිකයන්ට ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කිරීමට අවස්ථාව ලබාදීම,සංස්ථා අලෙවි අංශය මගින් විවෘත ටෙන්ඩර් කැදවීමට මැදිහත්වීම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව(SEC), රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD&SC) සහ රජයේ කර්මාන්තශාලාව (Government Factory) වල පෙරනිමි උළුවහු, ජනේල් සහ බෝක්කු කානු (කොන්ක්‍රීට් සිලින්ඩර්) අලෙවි කිරීම ද සිදු කිරීමට නියමිතයි.

    තවද සියලු රාජ්‍ය සේවකයන්ට වට්ටම් සහිතව භාණ්ඩ ලබාදීම, රාජ්‍ය ආයතනවල ප්‍රධාන සැපයුම්කරු ලෙස කටයුතු කිරීම, සංස්ථාවේ නිවාඩු නිකේතන පාරිභෝගිකයන් හට ලබාදීම, සංස්ථාවට අවශ්‍ය සේවකයන් බඳවාගැනීම, සැපයුම්කරුවන්ගේ ජාලයක් ඇතිකිරීම, ඍජුව භාණ්ඩ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදීගැනිමට කටයුතු කිරීම මඟින් මෙම සේවාව වඩාත් පුළුල් හා කාර්යක්ෂම කර ඇත.

    ඉදිරියේදී වැඩි භාණ්ඩ රැසක් සමඟින් වඩා පුලුල් සේවාවක් ලබාදීමට සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සකස් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සිදුවෙයි.


    සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක මහතා සංස්ථාව පිළිබද අදහස් දක්වමින් පවසා සිටියේ, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන් විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මෙම තත්වයට ගෙන ඒමට කටයුතු කළ බවයි.

    “රුපියල් මිලියන 425 ක ලාභ ලැබීමේ පළමු පියවර එයයි. එය පටන් ගත්තේ ගරු අගමැතිතුමාගේ “ඔබට ගෙයක් - රටට හෙටක්” ආධාර වැඩසටහන හා සමගාමීවයි. ඒ එයට අවශ්‍ය සිමෙන්ති සහ උළු සපයාදීමෙන්. එයින් සිදුවූ මූලිකම දෙය වූයේ, සංස්ථාවේ මාසික අලෙවිය ඉහළ යාමයි. ඒ වනවිට සංස්ථාව ගෙවා ගත නොහැකි ණය ගොඩක සිටියේ. INSEE සිමෙන්ති සමාගමට ගෙවිය යුතුව තිබුණා විශාල ණයක්. එය රුපියල් මිලියන 204 ක්. ඒ පහුගිය රජය කාලයේ ගත්ත ණයක්. ඒ වනවිට සංස්ථාව පවත්වාගෙන ගියේ මහා භාණඩාගාරයෙන් ලබාදෙන මුදල්වලින්. සේවක වැටුප් ගෙව්වෙත් එම මුදල්වලින්. අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් සංස්ථාවට ලැබුණා රුපියල් මිලියන 70 ක්. එයින් රුපියල් මිලියන 50 කින් ම අපි ණය ගෙව්වා INSEE සිමෙන්ති සමාගමට. ඉතුරු රුපියල් මිලියන 20 න් මිලියන 10 ක උළු මිළදී ගත්තා. අනිත් රුපියල් මිලියන 10 න් යකඩ ගත්තා. ඊළගට INSEE සිමෙන්ති සමාගම අපිට නැවත ණය පදනම මත භාණ්ඩ සැපයූවා සැපයුම්කරුවකු ලෙස. ඒ තමයි ලාභ ලැබීමේ ගමනේ ඇරඹුම. මෙතනදී රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා තනි මූලාශ්‍රයක් යටතේ සංස්ථාවෙන් බඩු මිලට ගැනීමට අවස්ථාව සලසන්න කියලා. ඒ අනුව අගමැතිතුමා කැබිනට් අනුමැතිය ඒ ඉල්ලිමට ලබාදුන්නා. ඒ නිසා සංස්ථාවට පුලුවන් වුණා රාජ්‍ය ආයතනවලට භාණ්ඩ සපයන්න තනි මූලාශ්‍රයක් යටතේ. ඒ අනුව සංස්ථාවට පුලුවන් වුණා 2020 සැප්තැම්බර් මස සිට උපයන මුදලින් වැඩ කරගෙන යාමට. පසුගිය ජූලි මාසයේ රුපියල් මිලියන 425 ක් උපයාගත්තේ ඒ අනුවයි. ගරු අගමැතිතුමා විසින් කැබිනට් අවසරයක් අපිට ලබාදුන්නා සියලු රාජ්‍ය ආයතන, සංස්ථා හා අප ආයතනයෙන් බඩු ලබාගත යුතුයි කියන පදනමින්. ඒ අනුව අපි මෙම වසර අවසන්වීමට පෙර මාසයකට රුපියල් මිලියන 1,000 සීමාවට එන්න අපිට පුලුවන්. ඒක සැප්තැම්බර්වලදීම අපි කරනවා. මේ වනවිට රාජ්‍ය ආයතන 45 ක් විතර සංස්ථාව සමඟ සම්බන්ධවී ඉන්නවා. ඊට අමතරව යුධ, ගුවන්, නාවික හමුදාවනුත් සමඟත් සාකච්ඡා කරමින් සිටින්නේ. සංස්ථාවට තියෙන්නේ හොඳ ඉතිහාසයක්. අපේ මුතුන් මිත්තෝ ගුණාත්මක බඩු ගත්තේ ඒ කාලෙදිත් සංස්ථාවෙන්. හොඳම උදාහරණය තමයි කිඹුළා උදැල්ල. සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිව සිටි ප්‍රසාද් අමරසූරිය මහතා මේ ආයතනය යම් මට්ටමකට ඔසවා තැබුවා. ඒ වන්දි අරගෙන ගෙදර යන්න බලාගෙන හිටිය සේවකයන් එම තත්වයෙන් මුදවා ගැනීමෙන්. සංස්ථාව ගොඩගත්තේ හැපි පීපල්ස් වැඩ පිළිවෙළ ඇරඹීමෙන්. ඒකෙ තේරුම ආයතනය තුළින් දේශපාලනය බැහැර කිරිම. එකාවන්ව වැඩකිරීම. යම් මට්ට්මකට එනතුරු වැටුප මත පමණක් කටයුතු කිරීම. මේ තත්වය යටතේ අවුරුදු 15 කට පසු සංස්ථාව සේවකයන්ට බෝනස්, උත්සව අත්තිකාරම් සේරම ලබා දුන්නා. ආයතනයේ දියුණුවට හේතුවක් තමයි කැමැත්තෙන් වැඩකරන සේවක පිරිසක් සංස්ථාව තුළ සිටීම. සංස්ථාව ජූනි මාසයේ දී ලැබූ ආදායම මෙන් තුන්ගුණයකට ආසන්න ආදායමක් ජූලි මාසයේ දී ලැබුවේ, අපගේ ආයතනයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ කැපවීම සහ උත්සාහය වගේ ම නව රජය පිළිබඳව ඔවුන්ට තිබූ විශ්වාසය හා මිත්‍රශීලී සේවක එකතුවෙන් මෙන් ම හිතමිත්‍ර ගනුදෙනු රටාවක් ගොඩනගා තිබීම හේතුවෙනි.

     

    එසේම, තරගකාරී වෙනත් ආයතන සමඟ තරගයක් නොමැතිවම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පිරිමැසීම, තොග අවසන්වූ භාණ්ඩ ඇනවුම් කර එක් දිනයක්, දෙකක් ඇතුළත ලබාදීම, පැමිණෙන සෑම ගනුදෙනුකරුවකු වෙතම පුද්ගලිකවම අවධානය යොමුකිරීම, ඉහළ ප්‍රමිතියකින් යුතු ගුණාත්මක භාණ්ඩ සැපයීම, වෙනත් තරගකරුවන්ට වඩා අඩු මිලකට භාණ්ඩ අලෙවි කිරීම වැනි පියවරයන් ද හේතුවෙන් සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ලාභ ලැබීමට හේතුව වී තිබේ. නව අලෙවි උපක්‍රම ගනුදෙනුවලදී ක්‍රියාත්මක කළා. ඒ වගේ ම ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම ගැන සැලකිලිමත් වුණා. සරලවම ගමේ ගොඩේ අලෙවි ක්‍රමයේ සිට මහා සම්ප්‍රදායේ අලෙවිකරණය දක්වාම ක්‍රමයන් අනුගමනය කළා. ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගෙන, ඔවුන් සංස්ථාවේ ගනුදෙනුකරුවන් බවට පත්කළා. ඒ අතරෙම ගනුදෙනුකරුවන්ට දැනෙන ඉතිරියක් ලබාදුන්නා ඉහළ ගුණාත්මක ප්‍රමිතියක් යටතේ. මේ සියල්ලේ ප්‍රතිඵලය සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ප්‍රමිති සහ තත්ව සහතිකවලින් පිදුම් ලැබීමයි.”යනුවෙන් ද සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ඉදිරි වැඩ කටයුතු ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිලුම් රත්නායක යන මහත්වරුන් විසින් අධීක්ෂණය කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya