මේ වැඩසටහන යටතේ (ඉන්ධන, රක්ෂණ, බැටරි ඇතුළත්ව) සහන පැකේජයක් හඳුන්වා දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය.
සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
බස්රථ රියැදුරන් සහ රියැදුරු සහායකයින් ඇතුළු බස්රථ සේවකයින් කොවිඩ් තර්ජිත කණ්ඩායමකි. ඔවුන්ගෙන් 80% ක් ආවරණය වන පරිදි පළමු එන්නත දී ඇති අතර දෙවන එන්නත 50%කට පමණ ලබාදී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඉතිරි සියලු සේවකයින්හට කඩිනමින් කොවිඩ් එන්නත දෙන බව පැවසීය.
ගම්සැරිය වැඩසටහන මගින් ගමේ සිට ප්‍රධාන නගර වෙත ජනතාව ගෙනයන බස් සේවාව, නගර බස් සේවාව (City Bus Service) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා දැනටමත් බස්රථ 600ක් ඇනවුම් කරඇති බවත්, සතොස සමග එකතු වී ඉන්ධන පිරවුම්හල් 107ක් ඉදිකොට ඒවා සියළුම බස්රථවලට සහ ජනතාවටද විවෘතව තබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්රථ ධාවනයට සුදුසු තත්ත්වයක පවතීද යන්න සොයා බැලීමට යෝග්‍යතා පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් සලසන බවත් සතොස සමග එකතු වී රටපුරා අමතර කොටස් අළෙවි සැල් (outlets) විවෘත කිරීමට ක්‍රියා කරන බවත් අමුණුගම මහතා පැවසීය. ඒ සඳහා දැනටමත් යන්ත්‍රසූත්‍ර ගෙන්වා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් අතර බස්රථවල ගමන් ගන්නා මගීන්ට ගිමන් නිවන ස්ථාන හඳුන්වාදෙමින් ආහාර අළෙවි සැල් ජාලයක් ලංගම මගින් සිදුකිරීමට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති බවත් එය ලබන වසර මුල ආරම්භ කරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමාගේ කාලයේ අපේ රටේ බස්රථ සහ ඒවාට අවශ්‍ය ටයර්, බැටරි, එන්ජින් ආදිය නිපදවන කර්මාන්තශාලා තිබුණු බැවින් නැවතත් එම කර්මාන්තශාලා ගොඩනැගීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් අමුණුගම මහතා කීය.
1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් පාසල්වලට ගෙනයාමට සහ නැවත නිවසට ගෙන ඒමට පෙර ගෙවුම් ක්‍රමයට වෙනම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, ඒවායේ සේවය සඳහා පාලක පාලිකාවන් බඳවා ගනු ලබන්නේ පෙරපාසල් පිළිබඳ පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.