එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලය වන COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය රටවල තානාපති Ken o’ Flaherty හා කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සමෘද්ධිමත්භාවය පිළිබඳ ඒකකයේ ප්‍රධානී Andrew Price මහත්වරුන් පසුගිය සිකුරාදා පස්වරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන් නිල වශයෙන් හමු වූහ.
මෙම වසරේ නොවැම්බර් මස බෙල්ග්‍රේඩ් හි දී පැවැත්වීමට නියමිත COP 26 දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාතික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ලෙස පරිසර අමාත්‍යවරයාටත්, පරිසර ලේකම්වරයාටත් මෙහිදී ඔවුන් විසින් ආරාධනය කළේය.
එමෙන්ම දේශගුණ විපර්යාස නිසා ඇති වන බලපෑම් වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව විසින් ගනු ලැබූ තීන්දු තීරණ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ තානාපතිවරයා අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය.
විශේෂයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය අනුව දේශගුණ විපර්යාස සඳහා ඉවහල්විය හැකි කරුණු රැසක් සම්බන්ධව මේ වනවිට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුණර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම සඳහා තීරණය කර ඇති අතර නැවත ගල් අඟුරු විදුලි බලාගාර ඉදිනොකිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ. එමෙන්ම විදුලිබල උත්පාදනයටජල විදුලිබලය මෙන්ම සුර්ය බලය හා සුළං බලය වැඩිපුර උපයෝගී කර ගැනීම, ද්‍රවීකෘත වායු හෙවත් LNG බලාගාර දෙකක් ඉදිකිරීම, විදුලිබලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ආනයනය සඳහා ආනයනකරුවන් දිරිමත් කිරීම, 2030 වන විට මේ රටේ වන ගහනය සියයට 30 දක්වා ඉහළ නැංවීම ද ප්‍රධාන වේ.
එමෙන්ම වැඩි වායු දූෂණය සිදුවීමට බලපාන ජාතික ප්‍රවාහණ සේවාවන් විදිමත් කිරීම ද රජයේ එක් ඉළක්කයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම වායු දූෂණයට මෙන්ම පාංශු දූෂණයට හේතුකාරක වන පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන රැසක් මේ වනවිට මෙරටට ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තහනම් කරනුලැබී යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අතිගරු ජනාධීපතිතුමන්ගේ උපදෙස් පරිදි ගන්නා ලද එම තීරණ සියල්ලම දේශගුණ විපර්යාසවලින් ලෝකයට මෙන්ම අපේ රටට සිදුවිය හැකි ආපදාවන් වළක්වා ගැනීම සඳහා ගන්නා ලද තීරණ යැයිද අමාත්‍යවරයා පැවසීය.
විශේෂයෙන්ම දේශගුණික විපර්යාස නිසා සිදුවන හානිවලින් වැඩිපුරම බලපෑම් එල්ල වන්නේ දූපත් රාජ්‍යයන්ටය. ශ්‍රී ලංකාව ද දූපතක් නිසා ඉන් සිදුවන අහිතකර ගෝලීය බලපෑම් නිසා වැඩි වශයෙන් හානිකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි යැයිද තානාපතිවරයා පැවසීය.
නමුත් වත්මන් රජය හා අතිගරු ජනාධිපතිතුමන් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට දකුණු ආසියානු කළාපයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාසයන් වළක්වා ගැනීම සඳහා වන අන්තර්ජාතික නිර්දේශ අනුව කටයුතු කිරීමේ දී ඉදිරියෙන් සිටින බව අවධාරණය කළේය. ඒ සඳහා ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයට සුබපතන බවත් COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය තානාපති Ken o’ Flaherty මහතා පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරින් කිහිප දෙනෙක්ද සහභාගි වූහ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙහිදී දේශගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති වැඩ පිළීවෙළ COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය තානාපති Ken o’ Flaherty මහතා වෙත බාර දෙනු ලැබීය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.