ළමයින් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති ජනමාධ්‍ය මඟින් වාර්තාකරණයේදී ඒ සඳහා වූ ක්‍රමවත් නීති පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව විසින් නිලධාරීන්ගේ අවධානයටයොමු කෙරුණු අතර මානසික පීඩනයට පත් දරුවන් සඳහා උපදේශන සේවය ලබා දී ඔවුන් සමාජගත කිරීමට අවශ්‍ය කටයුතු කිරීම අරමුණු කරගනිමින් ළමා උපදේශනය සම්බන්ධයෙන් විධිමත්
වැඩපිළිවෙළක් ද සකස් කළ යුතු බවත් උක්ත සියලු කරුණු සලකා බලා නිසි ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ගරු සභාපති තිස්ස විතාරණ
මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිළිබඳ 2016 ,2017 සහ 2018 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධන පරීක්ෂාව රාජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙහිදී පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත වාර්තා වූ පැමිණිලි අතරින් 485 ක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බවද දරුවන්ගේ පැමිණිලි සඳහා ලබාදුන් විසඳුම් වල ප්‍රගතිය විමසීමක් හෝ පසුවිපරම් කිරීමක් හෝ එම දෙපාර්තමේන්තුව විසින් සිදු කර නොමැති බවද කමිටු සාමාජිකයන්ගේ දැඩි අවධානයට ලක්විණි.
මෙහිදී, පවතින තත්ත්වයන් පිළිබඳ අවබෝධ කරගනිමින් ළමුන් විෂයෙහි වන ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් වහා සම්පාදනය කළ යුතු බව මෙහිදී ගරු සභාපති තිස්ස විතාරණ මහතා දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අවධාරණය කළේය.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ ආයතනගත ළමුන් සමාජගත කිරීමට නොහැකි වන හේතු විමසා බැලීමේ පර්යේෂණය, දෙමවුපියන් විදේශගත වීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට හා ආරක්ෂාවට වන බලපෑම, ශ්‍රී ලංකාවේ ළමා හා ව්‍යුහය තුළ ළමා සහභාගිත්වය පිළිබඳ සමාලෝචනය යන පර්යේෂණ තුනක් වෙනුවෙන් රුපියල් මිලියන 4.98 ක් වැය කර තිබූ නමුත් එම පර්යේෂණ වාර්තාවලින් ලබාගත් නිර්දේශ හා නිගමන ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පරිදි වැඩසටහන් ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක නොවීම පිළිබඳව කාරක සභාවේ අවධානයට යොමු විය.
මෙම ගැටලුව හේතුවෙන් ළමුන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා පර්යේෂණ ඒකකයක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තව තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කමද කාරක සභා අවස්ථාවේදී යෝජනා විය.
ළමුන්ගේ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා පවතින ග්‍රාමීය ළමා ආරක්ෂණ කමිටු තවදුරටත් සක්‍රිය විය යුතු බවත් ඒ තුළින් ග්‍රාමීයව ළමුන් පිළිබඳ දත්ත එකතු කිරීමේ වැදගත්කමත් එම සභාවේ දී අවධානයට නතු විණි.
එමෙන්ම, පරිවාස කාර්යාලයක් සෑම අධිකරණ බල ප්‍රදේශයකටම තිබීමේ වැදගත්කමද සභාව හමුවේ ඉදිරිපත් වූ අතර ළමා සමාජ තව දුරටත් නිර්මාණය විය යුතු බවටද යෝජනා කෙරිණි. ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ව්‍යුහාත්මක ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම පිළිබඳවද පරිවාස ගත වූ ළමුන් සම්බන්ධයෙන් යම් නීතිමය බාධාවන් පවතී නම් ඒ සඳහා සෘජුව, මැදිහත් ව ප්‍රතිපත්ති සකස් කළ යුතු බවත් අවධාරණය විය.
ළමයින් සම්බන්ධයෙන් සිදුවන සයිබර් අපරාධ සඳහා නියාමනයක් නොමැති හෙයින් නියාමනයන් කිරීමට වහා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවත් මේ දිනවල දරුවන් නිවසේ සිට මාර්ගගත ක්‍රමය මඟින් අධ්‍යාපනය ලබන හෙයින් අන්තර්ජාලය භාවිතයේදී සිදුවන වැරදි සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට ඒ සඳහා ද පිළියම් යෙදීමටද කමිටුවේ අවධානය යොමු විය.
සභාපති තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක මහතා ,අශෝක් අබේසිංහ මහතා, නිරෝෂන් පෙරේරා මහතා, ෆයිසාල් කාසිම් මහතා, මොහොමඩ් මුසම්මිල් මහතා, බී.වයි.ජී. රත්නසේකර මහතා , වීරසුමන
වීරසිංහ මහතා, හරිනි අමරසූරිය මහත්මිය, උපුල් ගලප්පත්ති මහතා මෙන්ම රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.