පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    28 වැනි ආසියාන් කලාපීය සංසදයේ දී ''සහයෝගීතාව'' ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරයි

    අගෝස්තු 11, 2021

    කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමති තාරක බාලසූරිය මහතා, ''28 වැනි ආසියාන් කලාපීය සංසදය (ARF)''  අමතමින්, ආසියාන් කලාපීය සංසදය සමඟ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව අවධාරණය කළේය.

    තරුණයින් සවිබල ගැන්වීම, සාගර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සහ සාගර පදනම් කරගත් වෙළඳ පද්ධතියක් ප්‍රවර්‍ධනය කිරීම මෙන්ම, සාමූහික යාන්ත්‍රණයක් තුළින් ඩිජිටල් ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ සන්දර්භය තුළ සයිබර් අපරාධවලට එරෙහිව සටන් කිරීම සහ ඒවා වැළැක්වීම සඳහා ආසියාන් කලාපීය සංසදය විසින් ගනු ලබන පියවර බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා අගය කළේය.

    ආසියාන් කලාපීය සංසදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අදහස් හා විශිෂ්ට පරිචයන් ප්‍රවර්‍ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කළ ප්‍රයත්නයක් තුළින් දායක වීම සඳහා තවදුරටත් සිය කැපවීම ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේය.

    බෲනායි දරුස්සලාම් හි විදේශ අමාත්‍ය ඩැටෝ එරිවාන් යූසොෆ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

    වියට්නාමය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්ව, න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීම වැළැක්වීම සහ නිරායුධකරණය පිළිබඳව 2022 දී පැවැත්වෙන අන්තර්-සැසිවාර රැස්වීමේ සම සභාපතිත්වය දැරීම සඳහා ශ්‍රී ලංකාව පත් කරන ලදී.

    මෙම මුලපිරීමේ දී, සාමකාමී අරමුණු සඳහා න්‍යෂ්ටික ශක්තිය භාවිතා කිරීමේ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇත. මෙම වසරේ ආසියාන් කලාපීය සංසදයේ දී, අනාගත සමෘද්ධිය පිණිස, තරුණයින් වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රකාශ කරමින්, තරුණයින්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ ඒකාබද්ධ ප්‍රකාශයට බෲනායි දරුස්සලාම්, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, නවසීලන්තය සහ කැනඩාව සමඟ එක්ව ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වීය. විශේෂයෙන් නිතර සිදුවන ව්‍යසනයන් කෙරෙහි නැඹුරු අග්නිදිග ආසියානු කලාපය තුළ, ස්ථායිතාවයෙන් යුත් දේශගුණයක් පෝෂණය කිරීම පිළිබඳ සාකච්ඡාව සඳහා දායක වන, ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳ වැඩමුළුවක් ද ශ්‍රී ලංකාව විසින් පවත්වනු ඇත.

    අනාගතයේ ඇතිවිය හැකි අභියෝග ඇතුළුව, කලාපය මුහුණ දෙන පුළුල් ගැටලු රාශියක් පිළිබඳව සහභාගී වූ සාමාජික රටවල අමාත්‍යවරු අදහස් හුවමාරු කර ගත්හ. කොවිඩ්-19 වසංගතයට සාමූහික හා ඵලදායි ප්‍රතිචාරයක් දැක්වීම සහ ගෝලීය වශයෙන් සුවය ලබා ගැනීම සඳහා කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගිතාවය සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම සියලුම සාමාජිකයෝ අනුමත කළහ.

    මෙම රැස්වීමේ දී මියන්මාරයේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අතර, 2021 අප්‍රේල් 24 දින පැවති ආසියාන් නායකයින්ගේ රැස්වීමේ දී එකඟ වූ පරිදි, කරුණු පහක් පිළිබඳ එකඟතාව සහ පැහැදිලි කාල සටහනක් හරහා එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම තුළින් ගැටලු විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. තවද, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සංවාදය තුළින් කොරියානු අර්ධද්වීපයේ පූර්ණ න්‍යෂ්ටික අවිහරණය සහ ස්ථිර සාමය ස්ථාපිත කරන ලෙස සියලු සාමාජිකයෝ ඉල්ලා සිටියහ. දකුණු චීන මුහුද ගැන සඳහන් කරමින්, ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශ්වීය වශයෙන් පිළිගත් මූලධර්මයන්ට අනුකූලව සාමකාමීව ආරවුල් විසඳාගෙන සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය පවත්වා ගැනීමේ සහ ප්‍රවර්‍ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම රැස්වීමේ දී නැවත අවධාරණය කෙරිණ. ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩ අන්තවාදය සහ දේශසීමා ඉක්මවමින් සිදුකෙරෙන අපරාධ මඟින් එල්ල කරන සංකීර්ණ අභියෝග සහ වේගයෙන් වෙනස් වන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පරිසරය තුළ, ආර්ථික වර්‍ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සැපයුම් දාමයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී තවදුරටත් තහවුරු කරන ලදී.

    සාමූහික ප්‍රවේශයකින් යුතුව ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස, කලාපයේ ආරක්‍ෂාව, සංවාදය සහ සහයෝගීතාව සඳහා ඉහළ පෙළේ වේදිකාවක් ලෙස ආසියාන් කලාපීය සංසදය වසර ගණනාවක් පුරා දායක වී ඇත.

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

    2021 අගෝස්තු 10 වැනි දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya