මෙතෙක් ප්‍රතිකාර සඳහා යොමු නොකෙරෙනු ගම්පහ දිස්ත්‍රික් ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසෙයි.
ඉකුත් සතියේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් 12555ක් වාර්තා වී ඇත. ඉන් 4046ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර තවත් ආසාදිතයින් 7003ක් මෙතෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර නොමැත.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දී මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කෙරුනි.
ඒ අනුව මෙතෙක් ප්‍රතිකාරවලට යොමු නොකල ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු ආකාරය හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන වෙත කඩිනමින් යොමු කෙරේ. මේ සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වලට යුද හමුදාවේ සහ පළාත් පාලන ආයතන වල සහාය හිමිවේ. හදුනාගත් ආසාදිතයින් වැරැල්ලවත්ත, සීදූව, බියගම හා වතුපිටිවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඔවුන්ගේ රෝගී තත්තවයන් නිරීක්ෂණය කර නිවෙස් ප්‍රතිකාර කළ හැකි පිරිස්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කල යුතු පිරිස්, රෝහල්ගතව ප්‍රතිකාර කළයුතු පිරිස් ආදී ලෙස ප්‍රතිකාර කළ යුතු ආකාරය නිර්ණය කර කඩිනමින් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සිදුකෙරේ.
ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල වලට ප්‍රමාණවත් තරම් වාහන නොමැතිකම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ වන විටත් පළාත් පාලන ආයතන වලින් වාහන තුන බැගින්
ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලවලට ලබා දී ඇත. එන්නත් කරන වැඩ පිළිවෙල කඩිනම් කිරීම සඳහාත්, රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහාත් පළාත් පාලන ආයතන සතු තවත් වාහන දෙක බැගින් ප්‍රාදේශීය සෞඛ්‍යය කාර්යාල වලට ලබාදීමට පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙහිදී එකඟ විය.
කොවිඩ් මර්දන කටයුතු කඩිනම් කිරීමේදී ප්‍රමාණවත් තරම් සේවක පිරිසක් නොවීම දිස්ත්‍රික්කයටම පොදුවේ බලපාන ගැටලුවක් බව මෙහිදී කියැවිණි. ඊට පිළියමක් ලෙස පසුගිය කාලයේ රැකියා සඳහා බඳවා ගැනුනු උපාධිධාරීන් ඒ සඳහා අනුයුක්ත කරන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙතෙක් ආරම්භ නොකළ යෝජනා වලට අදාළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රදානය කිරීමට ද මෙහිදී මන්ත්‍රීවරු
ඒකමතිකව තීරණය කළහ. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් හිමිවේ.
පහුගිය කාලයේ සංචරණ සීමා යෙදීම නිසා මන්ත්‍රී ප්‍රතිපාදන වලට අදාල යෝජනා වැඩි ප්‍රමාණයක් මෙතෙක් ආරම්භ කර නොමැති බවද මෙහිදී හෙළි විය. ඒ අනුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අවශ්‍යතා වලට ප්‍රමුඛතාවය දෙමින් රෝහල්වලට අවශ්‍ය ඇදන් සපයා ගැනීම, ඇත්තටම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන වල අඩුපාඩු සකස් කර ගැනීම වැනි කටයුතු සඳහා එම
මුදල් යොමු කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩියෙන් පුද්ගලයින් හතලිස් දහසක් පමණ තවමත් කොරෝනා වෛරසයට අදාළ එන්නත ලබාගෙන නොමැති හෙයින් ඉතිරි සතියක කාලය තුළ ඔවුන් සියලු දෙනාටම එන්නත ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. රාගම සහ ගම්පහ රෝහල්වල කොරෝනා වෛරස ආසාදිතයින්ගේ මළ සිරුරු ගොඩ ගැසී ඇති බවට කෙරෙන ප්‍රචාරය සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයා බලධාරීන් ගෙන් විමසීය. මේ වන විට එවැනි තත්ත්වයක් නොමැති බව එහිදී අනාවරණය වූ නමුත් පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර කඩිනමින් පිළිසකර කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය. ආදාහනාගාර සේවක ගැටලුව විසඳීම සඳහා උපරිම සේවකයින් 6 දෙනෙකුට යටත්ව සේවකයින් බඳවා ගැනීම සඳහා අවස්ථාව සළසන ලෙස ගම්පහ සහකාර පළාත් පාලන ආයතන කොමසාරිස්වරයා දැනුවත් කළේය.
ඥාතීන් හඳුනා නොගැනීම ඇතුළු විවිධ හේතූන් මත රෝහල් මෘත ශරීරාගාර තුළ කාලයක් තිස්සේ පවතින මෘතදේහ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන එම මෘත දේහ ආදාහන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
නිරෝධායනය සඳහා යොමුකර තිබෙන පවුල් වලට නිසි වේලාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සල් නොලැබීමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ග්‍රාමීය කමිටු සවිමත් කිරීමටත්, ග්‍රාමීය කමිටුව හරහා නිරෝදායනය වන පවුල් වල අවශ්‍යතා ප්‍රාදේශීය ලේකම්වරයාට යොමු කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටත් මෙහිදී සාකච්ඡා විය.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වලට පළාත් පාලන ආයතන හරහා දුරකථන පහසුකම් ලබාදීම , නිවෙස් නිරෝධායනයට යොමුකළ බව සඳහන් පත්‍රිකා පියවීම ආදීය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.