පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ගෘහ සේවකයන්ටත් EPF,ETF - ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් ලබාදීමේ නීති සම්පාදනය කරනවා- කම්කරු අමාත්‍ය

    අගෝස්තු 11, 2021

    නිවාස ගෘහස්ත කම්කරුවන් ලෙස කටයුතු කරන ගෘහ සේවක ප්‍රජාවට ද  EPF /ETF ඇතුළු මෙරට වැඩකරන පන්තියට අදාළ  කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු
    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    තමන්ගේ ජීවිත කාලයම සමහර විට අන්‍යයන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා කැප කරන මෙම ගෘහ සේවක සේවාව සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේ ආරම්භ වුවත්, එම කම්කරු  ප්‍රජාවගේ සුභසාධනය හා සුරක්ෂාව වෙනුවෙන්  මෙතෙක්  නිශ්චිත කම්කරු නීති ආවරණයක් නොතිබීම කණගාටුවට කරුණකි. එම නිසා ඉතාම කඩිනමින් මෙම ගෘහස්ථ කම්කරුවන්ට ද   කම්කරු අයිතිවාසිකම් ලබාදීමේ නීති සම්පාදනය කරන බව අමාත්‍යවරයා ඊයේ (10) ප්‍රකාශ කළේ, ගෘහස්ථ කම්කරුවන් අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ආයතන කිහිපයක නියෝජිතයින් සමඟ කම්කරු අමාත්‍යාංශය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

    මෙහි දී එම සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නේ වසර 100කට වඩා පැරණි වෘත්තිය ඉතිහාසයක් ඇති මෙම ගෘහස්ථ කම්කරුවන්ට  මේ වනතුරු මෙරට සෙසු කම්කරුවන් භුක්ති විඳිනු ලබන  කිසිදු කම්කරු අයිතිවාසිකමක් හෝ රැකවරණයක් ලැබි නොමැති බවය. අවම වශයෙන් ඔවුන් මෙරට කම්කරුවන් වශයෙන් හෝ කිසිදු පිළිගැනීමක් කර නොමැති බවත්, මේ වන විට රට පුරා  85,000 ආසන්න පිරිසක් ගෘහස්ථ කම්කරුවන් ලෙස සේවය කරන බවත්, ඔවුන් වෙනුවෙන් පළමු වරට මෙවැනි පනතක් ගෙන ඒමට ක්‍රියාකිරීම පිළිබඳව වත්මන් රජයටත් කම්කරු  අමාත්‍යවරයාටත් සිය කෘතඥතාව පළ කරන බව එම  සංගම් නියෝජිතයෝ පැවසූහ.

    කම්කරු අමාත්‍යංශය ගෙන එන මෙම නව නීති සම්පාදනය තුළින් කම්කරු  දෙපාර්තමේන්තුව ගෘහ සේවකයන් කම්කරු  ප්‍රජාවක් ලෙස පිළිගැනීමක් සිදුවන නිසා,එය මෙරට ගෘහස්ථ කම්කරුවන්ට විශාල රැකවරණයක් ලබාදෙන බව එම සංගම් නියෝජිතයෝ එහිදී පෙන්වා දුන්හ.

    මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමට සහ එම ගෘහ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීම සිදු කිරීමට අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය කඩිනමින්  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවය. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ  භාර අරමුදල් යන පනත් ද  ජාතික අවම වේතන පනත ද අයවැය සහන දීමනා පනත ද සංශෝධනය කරන බව ද
    ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    එසේම මෙම කටයුතුවලට අතිරේකව මෙම ගෘහ සේවක සේවිකාවන් අලෙවිකරණ බ්‍රෝකර්වරුන් සහ එජන්සිකරුවන් ද තහනම් කළ යුතු බව අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.
    එසේම මෙම නීති කෙටුම්පත් ගෙන ඒමේ දී සේවකයාගේ පාර්ශ්වයෙන් මෙන්ම සේවය ලබාගන්නා හාම්පුතාගේ පාර්ශ්වයෙන් ද කරුණු සලකා බලා ඔවුන්ට ද අසාධාරණයක් නොවන පරිදි  මෙම නීති කෙටුම්පත් ගෙන එන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය. ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් ඇති කිරීමත් සමගම ඔවුන්ට මෙරට ඇති කම්කරු නීති රෙගුලාසිවල පවත්නා රැකවරණය ලැබෙන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති   මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේෂ් රාගවන්, Protect Union ආයතනයේ ලේකම් කල්ප මධුරංග, ගෘහස්ථ කම්කරු සංගමයේ සභාපති එස්.සත්‍යවානි, කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැතිනි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya