පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් සංවර්ධනයට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් වැඩසටහන් රැසක්

    අගෝස්තු 12, 2021

    ජලය බැසයාම ක්‍රමවත් කිරීමෙන් පසුව එම ඇළ මාර්ගය ආශ්‍රිත ඉඩම්වලින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නා ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් ලබා දී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ක්‍රියාත්මක කරන වේරැස් ඟග ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ජලය බැස යන ප්‍රධාන ඇල මාර්ගය නිමකිරීමෙන් පසු, ඒ ආශ්‍රිත ඉඩම් අක්කර 100 ඉක්ම වූ ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සඳහා රජයට ලබාදිය හැකි බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරයි.

    මේ සඳහා ජලය පොම්ප කිරීමට පොම්පාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත්, එය ඉදිකිරීම තුළින් දැනටමත් ජලයෙන් යටවන රත්මලාන ගුවන් තොටුපල ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යටවීම වැළකෙන බවත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පෙන්වා දෙයි.

    පොම්පාගාරයෙන් පොම්ප කරන ලද ජලය ගෙනයාම සඳහා වන ප්‍රධාන ඇල මාර්ගය රත්මලානේ සිට මොරටුව දක්වා ඉදිකිරීමට යෝජිත බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලබන වසර අවසන් වනවිට මෙම ව්‍යාපෘතිය නිමකිරීමට සැලසුම් කර සිටියි.

    අගමැතිතුමාගේ උපදෙසින්, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවැත්වූණු ප්‍රගති සමාලෝචන රැස්වීමක දී මෙම තොරතුරු අනාවරණය විය.

    ඒ යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ක්‍රියාකාරී අංශයන්වන ජලපවාහන හා ගොඩකිරීම්, තෙත් බිම් කළමනාකරණය, ඉදිකිරීම්, සැපයුම්, පර්යේෂණ හා නිර්මාණ, ඉඩම්, ව්‍යාපාර සංවර්ධන, ප්‍රමාණ සමීක්ෂණ, මානව සම්පත් සංවර්ධන සහ අනවසර ගොඩකිරීම් ඇතුළු අංශ රැසක් මෙහිදී විමසා බැලින.

    ඉංජිනේරු වෘත්තිය පදනම් කරගත් ආයතනයක් වන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති, තීරණ පරිපාලන යන අංශවලට අනුකූලව ක්‍රියාත්මක වෙයි. ඒ යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව රජයේ සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබාදෙමින් අංශ තුනකට බෙදා ක්‍රියාත්මක කරයි. ආදායම් උපයන ව්‍යාපෘතියක් වන එය, රජයේ සංවර්ධන ව්‍යාපෘති, පුද්ගලික අංශයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ පුද්ගලික අංශයේ කුඩා සංවර්ධන ව්‍යාපෘති ලෙස වර්ග කරයි. මෙම ව්‍යාපෘති වර්ග තුනම සංස්ථාවේ මූල්‍ය ශක්තිය ඉහළ නංවයි.

    මේ හැර තවත් අංශ කිහිපයකින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සිය මූල්‍ය ශක්තිය වර්ධනය කරගනියි. ඉන් එකක්වනුයේ සංස්ථාව ලබාදෙනු ලබන භාහිර සේවාවන් වේ. ඒ යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සිය පළපුරුද්ද සහ දැනුම අලෙවි කරයි. යාන්ත්‍රික ශක්තිය කුලී පදනම මත අලෙවි කරයි. සංවර්ධන ව්‍යාපෘති වාර්තා සකස් කර දෙයි.

    මෙම දිනවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වැසිජල ගැලිම් පාලන ව්‍යාපෘතිය ඉන් එකකි. ඒ යටතේ ජල පොම්පාගාර ඉදිකිරීම, ඇල වේලි සකස් කිරීම, සංවර්ධනය කිරීම, මේ වන විට සාර්ථකව සිදුකරමින් පවතියි.

    මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ලබාදුන්, කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අධිවේගී මාර්ගය සැකසීම ඉන් තවත් එක් ව්‍යාපෘතියකි. වත්තල, පෑලියගොඩ සහ මාලඹේ ප්‍රදේශ ජලයෙන් යටවීම වළක්වන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අනෙක් ව්‍යාපෘතියයි.කොළොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය ද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන්නකි.

    මෙයට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නව සංවර්ධන ව්‍යාපෘතියකට ද මුලපුරා තිබේ. ඒ කොළඹ හා ඒ අවට ඇති ඇල මාර්ගවල තිබෙන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ පරික්ෂා කිරීමේ ව්‍යාපෘතියයි. මේ යටතේ සංස්ථාව අංශ තුනක් පිළිබඳව පරීක්ෂණ සිදුකරයි. ඒ නිර්දේශ ලබාදීම, ඇල මාර්ග සෑදීමෙන් පසු නිසිපරිදි පවත්වාගෙන යාම පිළිබඳ උපදෙස් සහ ජලයේ යහපත් ගුණාත්මකභාවය රදවාගැනීම පිළිබඳ නියමයන් යන අංශ තුනයි.

    මෙම සියල්ල සැලසුම් සහගත න්‍යායික සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරයි.

    ඒ අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව තවත් කටයුත්තකට ද මුලපුරමින් සිටියි. ඒ අනවසර ඉඩම් ගොඩකිරිම් වළක්වාලීමේ කටයුත්තටයි. ඒ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ශක්තිමත් ආයතන දෙකක් පිහිටුවා තිබේ. එය විශ්‍රාමික හමුදා නිලධරයන් දෙදෙනෙකු යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව, ආරක්ෂක සේවා සමාගම විශ්‍රාමික රියර් අද්මිරාල් එච්.ආර්. අමරවීර මහතාගේ කළමණාකාර අධ්‍යක්ෂණය යටතේ ද, රෙඩෙකෝ බ්ලොක්ගල් නිෂ්පාදන සමාගම විශ්‍රාමික බි්‍රගේඩියර් අමිත් සෙනෙවිරත්න මහතාගේ කළමණාකාරිත්වය යටතේ ද ක්‍රියාත්මක වෙයි.

    පවතින නීතිරීතිවලින් උපක්‍රමශීලීව නීති විරෝධීව රිංගා යාමට කටයුතු කිරීම මෙමඟින් වළක්වාගැනීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අපේක්ෂාවයි.

    සෑම අවස්ථාවකදීම ඉලක්ක සහිතව වැඩකිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ප්‍රතිපත්තියයි. ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදුකරන මුලික සංවර්ධන ව්‍යාපෘතිවලදී මතුවන අතුරු සංවර්ධන ව්‍යාපෘති සඳහා ද අවධානය යොමුකර විසදුම් ලබාදෙයි.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ පවතින තවත් ආයතන දෙකක් වනුයේ, මුතුරාජවෙල මුහුදු වැලි අංගනය සහ කෙරවළපිටිය කසල අංගනය යන අංගන දෙකයි.

    මුතුරාජවෙල වැලි අංගනය තුළින් සෝදා පිරිසිදුකර හලාගන්නා මුහුදු වැලි ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා භාවිතා කිරීමත් සමඟම ගංගා ඉවුරු කඩා වැටීම සහ ගංගා පතුල හෑරීම් වැලකී ගංගා ආරක්ෂා වූ බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව දත්ත සහිතව පෙන්වා දෙයි.

    එසේම, ආණ්ඩුව විසින් ගන්නා ලද කාබනික පොහොර භාවිතා කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට ශ්‍රී ලංකා ඉඩම් ඉදිකිරීමේ සංස්ථාව ඉතාම සුබවාදී ආරම්භයක් ලබා දෙමින් මෙතෙක් දිනකට කැළි කසලවලින් නිශ්පාදනය කළ මෙටි්‍රක් ටොන් 15 ක් වූ ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය දිනකට මෙටි්‍රක් ටොන් 50 ක් දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ ද මේ වනවිට ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතුව සුවිශේෂී කාර්ය භාර්යයන් රැසක් පවතියි. ඒ අනුව සංස්ථාවේ පැවැත්ම සංස්ථාව විසින්ම උපයන මුදලින් පවත්වාගෙන යාමයි. මේ සඳහා වන ශක්තිය, හැකියාව සහ වෘත්තීය පළපුරුද්ද සංස්ථා සේවකයන් සතුව පවතියි. ඒ යටතේ ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතුව ඇත. ඒ යටතේ ප්‍රමුඛ කටයුත්තක් වන ඉඩම් කළමනාකරණය කිරීමෙන් ඉඩම් සම්පත් ආරක්ෂා කිරීම සංස්ථාව යටතේ සිදුකෙරෙයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්‍ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ශ්‍රීමති සේනාධීර, ආරක්ෂක සේවා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක විශ්‍රාමික රියර් අද්මිරාල් එච්.ආර්. අමරවීර, රෙඩෙකෝ සමාගමේ සාමාන්‍යාධිකාරී විශ්‍රාමික බි්‍රගේඩියර් අමිත් සෙනෙවිරත්න, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ඒ.ඩබ්ලිව්. තුෂාරි, යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya