රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අවශ්‍ය නීති සංශෝධනයෙන් පසුව වෙළඳපොළේ රුපියල් සියය ඉක්මවා සහල් අලෙවි කිරීමට හැකියාවක් නොමැති බව අවධාරණය කරන අමාත්‍යවරයා, එලෙස සිදුකරන වෙළඳසැල් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන ලෙසද ඉල්ලීමක් කළේය.
එසේම ඉහළ මිලකට වී තොග රැස් කරන ජාවාරම්කරුවන් පිළීබඳ තොරතුරු කෘෂිකර්ම අමාත්‍යංශයට , වී අලෙවි මණ්ඩලයට ලබා දිය හැකි බවත් ඉදිරියේදී එවැනි ජාවාරම්කරුවන් සොයා පාරිභෝගික සේවා අධීකාරිය වැටලීම් සිදු කර අත්අඩංගුවට ගන්නා බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මේ දිනවල මෙම කන්නයේ වී අස්වනු නෙළීම් ආරම්භ කර ඇති බව පවසන අමාත්‍යවරයා, තමන්ගේ වී තොග පෞද්ගලික අංශය මිලදී නොගන්නේ නම් ඒ සියල්ල රජය සහතික මිල යටතේ වී අලෙමි මණ්ඩලය මිලදී ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම ජාවාරම්කාර පාර්ශ්වයන් අම්පාර වැනි ප්‍රදේශවල ගොවියන්ට වැඩිමුදලක් ලබා දී නිවෙස්වල වී මෝල් සකස් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, කිසිදු වී මෝලක් අලුතෙන් ආරම්භ කිරීමට අවසර නොමැති බව අවධාරණය කළේය.
නමුත් සාධාරණ ලෙස ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යවසායකයන්ට නිසි ලෙස සිය වාර්තා ලබා දී කෘෂීකර්ම අමාත්‍යංශයේ ලියාපදිංචි වීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
අතරමැදියන්ට වී තොග පවත්වා ගැනීමට නොහැකි බවත් එසේ තබා ගන්නා සියලු තොග රාජසන්තක කිරීමට මෙම නව නීති සංශෝධනයෙන් හැකියාවඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දේ.
එසේම රටේ සහල් හිඟයක් මවාපෑමට කිසිවෙකු උත්සහ කරන්නේ නම් ආරක්ෂිත වී තොග ආනයනය කිරීමට අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට තමා වෙළඳ අමාත්‍යවරයා ලෙස අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් මේ වන විට එහි ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම සතොස ආයතනයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකි බවත් එම ආයතනයෙන් වැඩිමිලට භාණ්ඩ රැගෙන වැඩි මිලට අලෙවි කළ පුද්ගලයන්ට මෙන්ම සතොස ආයතනයේ එවැනි අක්‍රමිකතා සිදු කිරීමට හවුල් වූ සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට තමන් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.