අප රටේ 103කින් සමන්විත සමස්ත ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව ලෙස මේවනවිට කැලණි ගඟ හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමස්ත ගංගා පද්ධතියම ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව සියලුම ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10,733ක් තිබෙන බව තහවුරු කර ගෙන ඇත. කැලණි ගඟ ආශ්‍රිතව පමණක් එවැනි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් හඳුනාගෙන ඇති අතර ඉන් ඉන් කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාන 797ක් හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577කුත් ඇතුළත් වේ.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවගෙන් විශාල පිරිසක් තමන්ට අවශ්‍ය පානීය ජලය මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ජලය ලබා ගන්නේ කැලණි ගඟ මගිනි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 80ක් පානීය ජල අවශ්‍යතාවය සපුරනු ලබන්නේ කැළණි ගඟ විසිනි.
එහෙත් මේ වනවිට කැලණි ගඟට විවිධ ආයතන හා පුද්ගලයින් කැළිකසල හා අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එම ගඟ මුළුමනින්ම දූෂිත තත්ත්වයට පත්ව ඇත. විශේෂයෙන්
සීතාවක හා බියගම කර්මාන්තපුරවල පිහිටි ඇතැම් කර්මාන්ත ශාලා විසින් බැහැර කරන අපද්‍රව්‍ය විවිධ ආකාරයෙන් කැලණි ගඟේ ජලයට මුසු වේ. එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් තම නිවෙස්වල එකතුවන කැළිකසල පොලිතීන් බෑග්වල අසුරා රාත්‍රිකාලයේ කැලණි ගඟට ඒවා පාළම් මත සිට හිතාමතාම බැහැර කරන බවද තහවුරු වී ඇත.
කැලණි ගඟට දූෂිත ද්‍රව්‍ය එකතුවීම වැඩිපුරම සිදුවන්නේ හංවැල්ලේ සිට පෑලියගොඩ දක්වා කලාපය තුළදීය. එමනිසා මෙම කළාපය එනම් හංවැල්ලේ සිට පෑලියගොඩ දක්වා වන කැලණි ගඟ අවට කලාපය සංරක්ෂණ කළාපයක් ලෙස නම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සුරකිමු ගංගා වැඩ පිළිවෙළ යටතේ හංවැල්ල සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ සංරක්ෂණ කලාපයක් වශයෙන් අපි නම් කිරීම මෙන්ම මෙම කලාපය තුළ කැලණිගඟට ඉහළින් ඉදි කර ඇති පාළම්වල CCTV කැමරා සවි කර රාත්‍රිකාලයේ පාළම් මත සිට ගඟට කැළිකසළ මළු විසි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා යෝජනා කළේය. එමෙන්ම එම පාළම් යටින් දැල් සවි කිරීම මඟින් ගඟට කැළිකසල වැටීම වැළැක්වීමට ද යෝජනා විය. මීට අවශ්‍ය මුල්‍ය
ප්‍රතිපාදන සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ලබා දීමට නියමිතය.
සුරකිමු ගංගා වැඩසටහන යටතේ ගංගා සංරක්ෂණය සඳහා වැය කරන මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් කැලණි ගඟ සංරක්ෂණයට වෙන් කරන ලෙස ද අමාත්‍යවරයා එම වැඩසටහන මෙහෙයවන නිලධාරින්හට උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි. ඊට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හා ආයතන ප්‍රධානීහු ද සහභාගි වූහ.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා - කැලණි ගඟ සංරක්ෂණය සඳහා අපි ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට තීරණය කළේ,මෙම ගංගාව සංරක්ෂණය නොකළහොත් ඉදිරියේ දී කැලණි ගඟ තවදුරටත් දූෂණය වීම වැළැක්විය නොහැකි නිසායි. එසේ වු විට මෙහි ජලය මීට වඩා අති දූෂ්‍ය විය හැකියි. එම තත්ත්වය නිසා ඇතැම් විට කොළඹ හා ගම්පහ ජනතාවට ඉදිරියේ දී උග්‍ර පානීය ජල ගැටළුවකට මෙන්ම විශාල සෞඛ්‍යමය ගැටළු රැසකටද ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇත. එමනිසා මෙම සංරක්ෂණ කටයුතු මේ වසරේ සිටම වහාම ආරම්භ කිරීමට අපි පියවර
ගන්නවා. මේ සම්බන්ධව මහජනතාවටත් වගකීමක් තිබෙනවා. කැලණි ගඟ කියන්නේ කුණු කාණුවක් නොවෙයි. තමන්ගේ ගෙවල්වල තිබෙන කුණු කැලණි ගඟට දමන්න එපා.
එම ජලය පානය කිරීම නිසා රෝගාබාධවලට ඔබේ දරුවන් පවා ගොදුරුවිය හැකියි. කොළඹ ජනතාවගෙන් සියයට 80කට ජලය සැපයෙන්නේ කැලණි ගඟ මගින්. ඒනිසා මේ ගඟ ආරක්ෂා කර ගැනීමේ වගකීමක් මහජනතාවටත් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.