මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා සීඅයිසීඒ සංවිධානයේ සාමාජික රටවල් විසි හතක රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයන් 100 දෙනෙක් පමණ සහභාගී වූහ. පශ්චාත් වසංගත අවධියේ දී වඩාත් ඔරොත්තු දිය හැකි සහ තිරසාර සංචාරක අංශයක් ගොඩනැගීම සඳහා වූ ජාත්‍යන්තර සාමූහික ප්‍රයත්නයන්හි සහ ඒකාබද්ධ ව්‍යායාමයන්හි වැදගත්කම සහ ප්‍රතිලාභ පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
ආරම්භක අදහස් ප්‍රකාශ කරමින්, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, කොවිඩ්-19 වසංගතයේ බියකරු රැළි හේතුවෙන් කරදරකාරී ආර්ථික හා සමාජීය බලපෑමක් සිදු වුවද, ශ්‍රී ලංකා රජය සිය නොපසුබට කැපවීම සහ දැඩි කැපවීම අඛණ්ඩව පෙන්නුම් කළ බව අවධාරණය කළේය. සීඅයිසීඒ සාමාජික රටවල් ඇතුළු සියලුම ජාත්‍යන්තර සංවිධාන සහ මිත්‍ර රජයන් සමඟ එක්ව, මෙම වසංගතය පරාජය කිරීමට සහ අපේ ජනතාවගේ ආර්ථික හා සමාජ සංවර්ධන අභිලාෂයන් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත්, ඒ සඳහා සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවත්,සඳහන් කළේය.
ශ්‍රී ලංකා සංචාරක කටයුතු ආයතනයේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සිය ප්‍රධාන දේශනයේ දී, පුළුල් ලෙස විවෘත අවකාශයන්ගෙන් සහ සොබාදහම පදනම් කරගත් අත්දැකීම් රාශියකින් යුත් පරිපූර්ණ පශ්චාත් වසංගත සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථාන ගත කිරීම සඳහා අවශ්‍ය සියළුම ගුණාංගයන්ගෙන් ශ්‍රී ලංකාව සමන්විත වන බව අවධාරණය කළ අතර, මෙම වසංගත අවධියේ දී සහ ඉන්පසු යුගයේ දී දිවයිනේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයට අදාළ ශ්‍රී ලංකාවේ පොහොසත් අත්දැකීම් සහ මුලපිරීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කථා කළාය.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) හිටපු සභාපති මහේන් කාරියවසන්, සංචාරක ව්‍යාපාරයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංගමයේ (ASMET) සභාපති රොහාන් අබේවික්‍රම සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති සනත් උක්වත්ත යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. සැසිය මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ දුෂාන් වික්‍රමසූරිය මහතා විසිනි.
වෙබිනාර් සාකච්ඡාව සඳහා සහභාගී වූ ගෝලීය කර්මාන්ත විශේෂඥයින් මෙම විෂය පිළිබඳ ඔවුන්ගේ පළපුරුද්ද සහ විශේෂඥභාවය හුවමාරු කර ගනිමින්, පශ්චාත් කොවිඩ් පසුබිම තුළ සීඅයිසීඒ කලාපය තුළ සංචාරක පුනර්ජීවනය සඳහා ඉදිරි මාවත සංකල්පනය කිරීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට එකඟ විය.
සීඅයිසීඒ යනු ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පිහිටුවන ලද සාමාජික රාජ්‍යයන් විසි හතක බහුජාතික සංසදයකි. 2018 දී ශ්‍රී ලංකාව සීඅයිසීඒ හි පූර්ණ සාමාජිකත්වය ලබා ගත් අතර, මේ වන විට සංචාරක ව්‍යාපාරය තුළ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.
විදේශ අමාත්‍යාංශය
කොළඹ