පළමුව අග්‍රාමාත්‍යතුමා මල් ,පහන්, සුවඳ දුම් පූජාකොට ධර්ම දේශනාව සඳහා වැඩම කළ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමවාසී, ආචාර්ය කුකුල්පනේ සුදස්සී නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.
ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංල්පයෙන් ඇරඹි මෙම අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදීමේ වැදගත්කම පෙන්වා දුන් ආචාර්ය කුකුල්පනේ සුදස්සී නාහිමියෝ ධර්ම දේශනාව අතරවාරයේ දී මෙසේ ද පැවසූහ.
"ගරු අග්‍රාමාත්‍යතුමන් මේ රට වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකරන ලද අපරිමිත කාර්යභාරයන් අතර වසර 30කට අධික කාලයක් සියලු රටවැසියන් බියෙන්, තැතිගැන්මෙන් පීඩාවට පත්කරමින් පැවැති යුද බිය දුරුකර, සෑම සියලු දෙනාටම සමගි සම්පන්නව සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න අවකාශ සලසා දීම ගිහි පැවිදි කවුරුත් සියලු කල්හි සුවිශේෂීව අගය කරනවා."
"රට වැසියන්ට බාහිරින් පැමිණෙන උවදුරු වළක්වලා සියලු දෙනාට සුවෙන් ජීවත්වන්නට අවකාශ සලසා දුන්නා සේම අපි කොයි කාටත් ඇතුළතින් පැමිණෙන කෙළෙස් සිතුවිලි දුරුකර ගන්නට තථාගත සද්ධර්මය සැමදෙනාටම අහන්නට සලස්වමින් ලංකාවේ පමණක් නොවෙයි විදේශ රටවල පවා ජීවත්වන බෞද්ධයින්ට තම තමන්ගේ සිත්සතන් දහම් සිසිලසින් සුවපත්කර ගන්නට ආරම්භකරන ලද මේ ධර්මදේශනා මාලාවත් සුවිශේෂ සත්කාරයක් හැටියට අපි අගය කරනවා."යැයි ආචාර්ය කුකුල්පනේ සුදස්සී නාහිමියෝ සිහිපත් කළහ
අනතුරුව නිකිණි පුර පසළොස්වක පොහොය දින ඇති වැදගත්කම පැහැදිලි කරමින් හා මෙවන් කාල වකවානුවක තමන් තමන්ව සුරක්ෂිත කරගන්නේ කෙසේද යන කාරණය බුදුරජාණන්වහන්සේ විසින් කළ දේශනා ඇසුරින් පැහැදිලි කරමින් ආචාර්ය කුකුල්පනේ සුදස්සී නාහිමියෝ ධර්මය දේශනා කළහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක් වූහ.