පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි පිරිස සියයට 90ක්- කොළඹ දිස්ත්‍රික් ලේකම්

    අගෝස්තු 25, 2021

    කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන වයස 30ට වැඩි ලක්ෂ දාහතරක පමණ ජනතාවගෙන් 90%කට වඩා ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ එක් මාත්‍රාවක් හෝ
    ලබාගෙන ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

    “කොවිඩ් නිරෝධායන ඇඳිරි නීති සමයේ කොළඹ දිස්ත්‍රික් මහජන සුභසාධනය” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (25 දා) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

    ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන මෙන්ම දියත උයන හා විහාර මහදේවි උද්‍යානය යන එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා එන්නත්කරණ වැඩසටහන් වඩා ක්‍රමවත්ව මෙන්ම සාර්ථකව කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට හැකිවූ බව ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

    දැනට මසකට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ වයස 60ට වැඩි පුද්ගලයන්ගෙන් හතලිස් හත් දහස් හයසිය පනස් දෙකක පමණ පිරිසක් එන්නත්කරණයට ලක් නොවූ බවත්, මෙම තොරතුරු රජයේ අදාළ අංශවලට ලබා දීමෙන් අනතුරුව නිවසෙන් නිවසට ගොස් මෙම පිරිසගෙන් විශාල ප්‍රමාණයකට එන්නත් ලබාදීමට තමන්ට හැකිවූ බවත්, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසුවේ මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි ප්‍රජාවගෙන් අට ලක්ෂ පනස් තුන්දහස් හයසිය අසූ එකක් වන ප්‍රමාණයෙන් අට ලක්ෂ තිස් දෙදහස් පන්සිය විසි අටකට එනම් 97.5%කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත්, මේ වන විට දෙවැනි මාත්‍රාව වයස අවුරුදු 30 වැඩි සියලුම පුද්ගලයන් හට ලබා දෙමින් පවතින බවත්ය.

    අද වන විට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී ඇති ප්‍රමාණය 40.7%ක් බවද මෙම මස 30 වැනිදා වන විට පළමු මාත්‍රාව ලබාදුන් සියලු දෙනාට දෙවැනි මාත්‍රාව ලබාදීමේ කටයුතු සූදානම් කර ඇති බවත්,එන්නතේ කිසිදු මාත්‍රාවක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි දාහතර දහසක් පමණ සිටි බවත්, ඔවුන්ට යුද හමුදාවේ මැදිහත්වීම මත එන්නත් ලබා දීමේ කටයුතු සිදු කළ බවත්, චන්දන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයන් තුන් ලක්ෂ විසි පන්දහසක් පමණ හඳුනාගෙන ඇති බවද එම පිරිසටද ඉදිරියේදී එන්නත් ලබා දීමට
    කටයුතු කරන බවත්, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා අදහස් දක්වමින් පැවසුවේ ත්‍රිකුණාමලයේ සිටින වයස අවුරුදු 30ට වැඩි පිරිසගෙන් 95%කට වඩා ප්‍රමාණයකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත්, දෙවැනි මාත්‍රාව මෙම මස 30 වැනිදා වන විට ලැබෙන බවත්, වයස අවුරුදු 30ට අඩු රැකියාවල නියුතු වූවන්ටද කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත්ය.

    මෙම අවස්ථාවේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තත්ත්වය පහදා දෙමින් එම දිස්ත්‍රික්කයේ ලේකම් එච් පී සුමනසේකර මහතා පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොවිඩ් පළමු එන්නත් මාත්‍රාව 67%කට එනම් තුන්ලක්ෂ විසි එක් දහසකට ලබා දී ඇති බවත්, දෙවැනි එන්නත මේ දිනවල ලබා දීමට කටයුතු කරන බවත්ය.

    එමෙන්ම වයස අවුරුදු 60 වැඩි එකොලොස් දහස් .තුන්සිය අසූ දෙකක් පමන වන පිරිසක් එන්නත් කිසිවක් ලබා නොමැති බවත්, ඔවුන්ට එන්නත් කිරීම සඳහා යුද හමුදාව
    සියලු කටයුතු පටන් ගෙන ඇති බවත්ය.

    අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය අදහස් දක්වමින්, මේ දිනවල එන්නත්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බවත්, එන්නත් මධ්‍යස්ථානවලට යා නොහැකි වැඩිහිටියන් වෙනුවෙන් යුදහමුදාව ජංගම එන්නත්කරණ වැඩසටහන අනුරාධපුරයේ ද ක්‍රියාත්මක බවත් කීවාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya