පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රි පුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාව පිළිබඳ, විශේෂ කාරක සභාවේදී සාකච්ඡා වීමට නියමිතව තිබේ.
එම කමිටුව නියෝජනය කළ සාමාජිකයන්ටද (ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක-සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, හිටපු අමාත්‍යංශ ලේකම් ජයලත් රවී දිසානායක) කාරක සභාව වෙත පැමිණෙන ලෙස ආරාධනා කර ඇතැයි, විශේෂ කාරක සභාවේ ලේකම් ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් , කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම විශේෂ කාරක සභාව මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, කාන්තා සංවිධාන ආදී බොහෝ පාර්ශවයන්ගෙන් මැතිවරණ ක්‍රමය කෙසේ සකස් විය යුතුද යන්න අදහස් ලබාගෙන තිබේ.
මෙම විශේෂ කාරක සභාවට ලැබෙන යෝජනා අධ්‍යයනය කිරීම සඳහා කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවලින් යෝජනා වූ විද්වතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්ද පත්කර ඇත.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන්, නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරුද ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුද මෙම, විශේෂ කාරක සභාව නියෝජනය කරති.