කොරෝනා වෛරසයේ එක් එක් ප්‍රහේද සඳහා වෙන වෙනම වැට කඩුලු බැදිය නොහැකි බවත්, සිදුකළ යුත්තේ රෝගයට වැටකඩුලු බැදීම බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව සදහන් කළේ, අද (03) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් දකුණු අප්‍රිකානු ප්‍රභේද මෙරටට පැමිණීම වැළැක්විය නොහැකිද යන්න කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
දකුණු ඇමරිකාවේ සහ අනෙකුත් ප්‍රදේශ වලින් අප රටට පැමිණීමේ සම්භාවිතාවය අඩු බැවින් දකුණු අප්‍රිකාවේ ඇති ප්‍රභේද මෙතෙක් අප රටට පැමිණියේ අඩුවෙන් බවද, එහෙත් මේ දක්වා පැමිණි සියලු ප්‍රභේද ලංකාවට පැමිණි අයුරින් යුරෝපයේ සහ මැදපෙරදිගට යන ජනතාව මාර්ගයෙන් මෙම ප්‍රභේදයද මෙරටට පැමිණීමට ඉඩකඩ පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
මෙම අවදානම පවතින බැවින් පිටරට සිට පැමිණෙන අය වෙනුවෙන් නිරෝධායනය කිරීම, එන්නත්කරණය කිරීම සහ එන්නත් ලබාගෙන පැමිණෙන්නන් සම්බන්ධව ද කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයිද ඔහු සදහන් කළේය.
එමෙන්ම ලංකාවේ සිටින සියලුම පුද්ගලයන් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම මගින් මෙම ඕනෑම ප්‍රභේදයකින් ආරක්ෂා විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පැවති නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් දිගුකිරීම සම්බන්ධව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සංචරණ සීමාවන් පැනවීම පවතින තත්ත්වය යටතේ මීට වඩා දැඩි කරනවාද, ලිහිල් කරනවාද යන්න නිරන්තර සංවාදයක යෙදෙමින් සිදුකරන බවත්, ඒ අනූව ලබාගත් තොරතුරු, සාර්ථක අසාර්ථකභාවය, අඩුපාඩු ආදිය විමර්ශනය කරමින් විටින් විට ගන්නා තීරණ මෙලෙස ක්‍රියාත්මක වන බවයි.
මෙම සංචරණ සීමා සම්බන්ධව පුද්ගලයන් ලෙස, ආයතන ලෙස සහ බලධාරීන් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු අතර සියලුම පාර්ශවයන්ට මේ සම්බන්ධව වගකීමක් ඇති බවද, සෞඛ්‍යයට පමණක් තනිවම මෙය කළ නොහැකි බවද පැවසීය.