මෙයට පෙර, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාඡ්‍ය බුද්ධි සේවය සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරුද මත, ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ඒ අනුව, එම මෙහෙයුමේදී ලබා ගන්නා ලද තොරතුරු හා ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබුණු තවත් බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ ගජබාහු සහ සමුදුර යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන් ජාත්‍යන්තර මුහුදේ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ගොඩබිම සිට මුහුදු සැතපුම් 740 ක පමණ (කිලෝමීටර 1370ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව මඟින් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එම පරීක්‍ෂාවේදී යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 301ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 336 ග්‍රෑම් 300ක පමණ (ඇසුරුම් බර සහිතව) ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ සැකකරුවන් (2021 සැප්තැම්බර් 04) උදෑසන ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධිවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට ජාවාරම් කරුවන් විසින් සැළසුම්කරන්නට ඇතැයි සැකකරන අතර, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ වරාය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා, මේ දිනවල පවතින මුහුදේ දැඩි රළු ස්වාභාවය හමුවේ වුවද දීර්ඝ කාලයක් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව වෙත සිය කෘතඥතාවය පිරිනමින්, රටේ අනාගත පරපුර විනාශ කර දමන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නාවික හමුදාව සිදුකරන මෙම සුවිශේෂී කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රජය වෙනුවෙන් සිය ස්තූතිය ඵල කරන බව ප්‍රකාශ කර සිටින ලදී. තවද, මෙම මෙහෙයුම සඳහා සෑම අතින්ම සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් වෙතත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙතත් ආරක්‍ෂක ලේකම් විසින් මෙහිදී සිය ස්තූතිය පල කර සිටින ලදී.
පවත්නා වසංගත තත්වය හමුවේ වුවද අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය ශාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස නාවික හමුදාවේ සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් සහ ඵලදායිතාවයෙන් යුතුව යොදවමින් මෙවැනි සාර්ථක මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කිරීමට සූදානමින් සිටියි.