අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් හදිසි නීතිය පැනවීම පිළිබඳ නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
පාරිභෝගික ආරක්ෂක පනත යටතේ තිබෙන යම් යම් විධිවිධාන ශක්තිමත් නොවන බව වටහා ගැනීමෙන් අනතුරුව එම විධිවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිරීති සකස්වෙමින් තිබෙන හෙයින් යම් කලක් ගත වීමේ ඉඩකඩක් තිබෙන අතර, නීතිපතිවරයාගේ අනුමැතිය, ඒවා අධිකරණයේ දී අභියෝග වලට ලක්කරන කාල සිමාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සමමත කරගැනීමට ගත වන කාල සීමාවන් සළකා බලා එම නෛතික රාමුව ශක්තිමත් වන තෙක් අහාර සම්බන්ධව සහ වර්තමාන සමාජ තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම හදිසි නීතිය පනවා තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මෙරට උද්ඝෝෂණ රාශියක් සිදු වුන අතර කොරෝනා දරුණු අවධියේ දී උද්ඝෝෂණ පැවතුණ බව සඳහන් කළ අමාත්‍යවරයා, උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත ස්ථානයක් ලබා දුන්නා මිස එකඳු ජල ප්‍රහාරයක් හෝ බැටන් ප්‍රහාරයක් වත් එල්ල කිරීමට රජය විසින් කටයුතු නොකළ බව ද සඳහන් කර සිටියේ ය.
ඒ අනුව, මෙරට තුළ භාෂණයේ නිදහස, උද්ඝෝෂණයේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු සියලුම දේ ආරක්ෂා වන අතරම, ජනතාවගෙන් අසාධාරණ ලෙස ගසා කන යම් යම් වෙළඳ කොටස් පිළබඳව ජනතාව තුළ විරෝධයක් පැන නැඟී තිබෙන අතරම ජනතාව අතර රජයක් පිළිබඳව යම් වික්ෂිප්තභාවයක් ද ඇති ව තිබෙන හෙයින් මෙම කාර්යය සිදු කරන ලද බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.