පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළනැංවීමේ ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 09, 2021

    දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් යොමු කිරීම අවම වන ආකාරයට මෙරට රෝහල් 191 ක ඇඳන් 11000 ක් සඳහා ඔක්සිජන් පහසුකම් ඇතුළු ඒවායේ අනෙකුත් පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.

     

    306/C/1, ජාත්‍යන්තර සිංහ සමාජය , ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය , ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

    “O2 Life” ලෙසින් නම්කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 03 ක් පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිතය. අදාළ ව්‍යාපෘතිය සැලසුම්කර ඇති පාර්ශව ,සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එම අමාත්‍යාංශයේදී ( 07)දින මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණී.

    මේ යටතේ රෝහල්හි දැනට තිබෙන ඇඳන් 7500 ක මේ වන විට සිදු කෙරෙන ප්‍රතිකාර වලට අමතරව ඔක්සිජන් ලබා දෙමින් නිසි පරිදි නිරීක්ෂණය,කළමණාකරණය හා හදිසි ප්‍රතිකාර කිරීම සිදු කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම නව ඇඳන් 3500 ක් එම රෝහල් සඳහා එක් කෙරෙන අතර ඒවායේ ප්‍රතිකාර සේවාවන් තවත් ඉහළ මට්ටමට ගෙන එමින් උපරිම පහසුකම් ලබාදීමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ සැලසුම් කර ඇත.

    එමගින් දැඩි සත්කාර ඒකක කරා ඇතුළත් කෙරෙන අවදානම් මට්ටමේ රෝගීන්ගේ අවදානම් තත්ත්වය නව ව්‍යාපෘතියේ පහසුකම් ඔස්සේ අවම කරගැනීමට හැකි වන අතර, මෙය කඩිනිමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.

    මෙවැනි ව්‍යාපෘති සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දිය හැකි උපරිම සහය ලබා දෙන බවත් පළමුවද,දෙවනුවද,තෙවනුවද පුරවැසි සුරක්ෂිතතාවය උදෙසා රජය උපරිමයෙන් කැපවන බවද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙන්ම 306/C/1 සිංහ සමාජය නියෝජනය කරමින් ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක , මහාචාර්ය ආනන්ද ජයවර්ධන යන මහත්වරුන් හා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හා ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර සහ විශේෂඥ වෛද්‍ය සමිත දසනායක යන මහත්වරුන් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya