පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වසංගතය පාලනය කරන අතර රට තුළ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මකයි- අමාත්‍ය නාමල් රාජපක්ෂ

    සැප්තැම්බර් 11, 2021

    කොවිඩ් වසංගතය පාලනය කරන අතර ම රට තුළ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

     අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක්වෙමින් (10) දින අමාත්‍යවරයා මේ බව කීය,

    අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට ලබාදුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.
    ඒ අනුව, දිවයිනපුරා ක්‍රියාත්මක මහා පරිමාණයේ හා ග්‍රාමීය මට්ටමින් සිදුවන කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයට ලක්වේ. එම සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව ක්‍රියාත්මකවීම, නියමිත ප්‍රමිතිය, අඩුපාඩු සහ ප්‍රමාද දෝෂයන් ඇත්නම් හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් නියමිත කාලවකවානුවලදී එම ව්‍යාපෘතීන් අවසන් කිරීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවන්වලදී අධීක්ෂණය කරනු ලබයි.
    ඒ අනුව, අද දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහත සඳහන් ස්ථානවල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    වසංගත තත්ත්වයට මුහුණදෙන අතර ම නව සමාන්‍යකරණයත් සමග ඉදිරියට ගොස් රට විවෘත වනවිට එන්නත්කරණය අවසන් වනවිට රට ආර්ථික වශයෙන් ශක්තිමත්වීමට ග්‍රාමීය හා ජාතික සංවර්ධනය ඉදිරියට යා යුතුයි.
    ඒ අනුව, අද අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ විශාල සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙනවා. මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා සමග විෂයභාර කැබිනට් අමාත්‍යතුමාලාගේ ආශිර්වාදයත් සමග මෙම කලාපයේ ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා ක්‍රම නිසි ප්‍රමිතියට සහ වෙලාවට අවසන් කිරීම අධීක්ෂණය කිරීමයි අපේ වගකීම.
    ''සැමට පිරිසිදු ජලය''යන කාරණය පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු වී තිබෙන අතර, වාසුදේව අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය හරහා පානීය ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක නාගරික සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වෙනවා,
    තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය යටතේ අනුරාධපුර ක්‍රීඩා පාසල සංවර්ධනය වන අතර ම එම ක්‍රීඩා පාසලේ මීටර් 130 ක කෘත්‍රිම සින්තටික් ධාවන පථය ඉදිවෙනවා.
    ඉදිරි කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූජා නගර සංවර්ධනය, පහළ මල්වතු ඔය ජල යෝජනා ක්‍රමය, වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය ඇතුලුව යෝජිත සියලු සංවර්ධන ව්‍යාපෘති සියල්ල නිම කර ආණ්ඩුවක් විදියට ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ඉටු කරන්න කැප වෙන බව මතක් කරන්න අවශ්‍යයි.
    මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය. සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් නොසලකා හැර කොවිඩ් වසංගතයෙන් වන හානිය දැන දැන උද්ඝෝෂණ සංවිධානය කරමින් විපක්ෂය මෙම වෛරසය ව්‍යාප්ත වන ලෙස කටයුතු කළා.
    අද ඔවුන් කොවිඩ් ව්‍යාප්තිය ගැන කතා කරනවා. ඔවුන්ට අවශ්‍ය සංවර්ධන ක්‍රියාදාමය නවත්වන්න. සංවර්ධනය කඩාකප්පල් කර මැතිවරණ කාලසීමාවේ ඔවුන්ම කියයි ආණ්ඩුව කොවිඩ් පාලනය කළා නමුත් ගම සංවර්ධනය කළේ නැහැ කියලා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන අතර ම එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කරමින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අතිගරු ජනාධිපතිතුමා ජනතාවට ලබා දී තිබෙන පොරොන්දු ඉටු කරන්නත් ආණ්ඩුව විදියට අපි කටයුතු කරනවා. එම අවස්ථාවේ දී වී ගබඩා සංචිත වැටලීම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.
    කිසිසේත් ගොවීන්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුවේ ප්‍රධානම අරමුණ වනුයේ ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට අවස්ථාව උදා කරදීම යි. ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා වන ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නේ. රසායනික පොහොරවලින් ඉවත් ව
    කාබනික පොහොර භාවිතයට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිසි විද්‍යානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. කාබනික පොහොර භාවිතා කිරීමෙන් යම් හෙයකින් ගොවියාගේ අස්වැන්න අඩු වුණොත් ඒ සදහා වන මුල්‍යමය පාඩුව ලබාදීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරනවා.
    වී සදහා සාධාරණ මිල ලබාදීමට සහතික වන අතර, පාරිභෝගිකයාට සාධාරණ මිලට සහල් ලබා දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙළ ආණ්ඩුවක් විදියට මේ මොහොතේ ක්‍රියාත්මක කරනවා. මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ යම් යම් ගැටලු හා අදහස් ඇති. ඔවුන් ව්‍යාපාර කරගෙන යා යුතුයි. නමුත් ඊට වඩා අද මේ තත්ත්වය මත අපි ප්‍රමුඛ ව කළ යුතු කාර්යය සහ ආණ්ඩුවේ වගකීම වනුයේ ගොවියාගෙන් සාධාරණ මිලකට වී මිලදී ගෙන පාරිභෝගියාට සාධාරණ මිලකට සහල් ලබාදීමත් කියන කාරණය යි.
    එසේම යම් භාණ්ඩ කිහිපයක් ගෙන්වීමේදී සිදු කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධව පසුගියදා මහ බැංකුව විසින් ගත් තීරණය හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.
    කාලානුරූපව ගත යුතු තීන්දු තීරණ තිබෙනවා. මෙවැනි කාලයක අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවා ද කියන එක පිළිබදව රටේ ජනතාව තේරුම් ගත යුතුයි.
    මේ තිබෙන ගෝලීය වසංගතයත් තත්ත්වය හා රටේ ආර්ථික පසුබිමත් හේතුවෙන් යම් යම් තීරණ ගැනීමට සිදු වී තිබෙනවා. මෙවැනි අවස්ථාවල දී අපි විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් එවැනි ක්‍රමවේදයන් අනුගමනය කරනවා. මෙය තාවකාලිකව ක්‍රමවේදය මිස සදාකාලික ක්‍රමවේදයක් නොවේ.
    ඉතාමත් කඩිනමින් අපේරටේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගත් පසු හා ඔබ දකින සංවර්ධන යෝජනා ක්‍රම අවසන් ව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනවිට පනවන ලද සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරන්න හැකි වේ යැයි අපි විශ්වාස කරනවා. ඕනෑම රජයක් සීමාවන් පනවන්නේ කැමැත්තෙන් නෙවෙයි. රටේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරන විට ගෝලීය වසංගත තත්ත්වයත්, දේශීය ආර්ථිකයත් කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි.
    විදේශ විනිමය සාමාන්‍ය ආකාරයට රටට ගලා ඒම ආරම්භ වූ විගස රජය මේ සීමාවන් ඉවත් කරනවා. මේ වන විට සංචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. සංචාරකයින් එමින් පවතිනවා. විදේශ රටවලට යවන නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර තිබෙනවා. අපනයන වැඩි කර කර්මාන්ත දිරි ගන්වන්න රජය කටයුතු කර තිබෙනවා. කුඩා කර්මාන්ත වැඩි දියුණු කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. මෙලෙස දේශීය ආර්ථික ප්‍රතිපත්තිය රට තුළ ක්‍රියාත්මක වනවිට ඉදිරියේදී අපිට ක්‍රමානුකූලව හැකියාව ලැබෙයි මෙම සීමාවන් ඉවත් කරන්න යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, ශෙහාන් සේමසිංහ, යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා, ජොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya