මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පැවසුවේ අතිගරු ජනාධිපතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කළමණාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රට පුරා මාර්ග දෙපස පැල දස ලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණය කිරිමේ වැඩසටහනට එක්වෙමිණි.
මෙම රුක් රෝපණ වැඩසටහන පසුගිය දා මීරිගම අන්තර්හුවමාරුව අසලින් ආරම්භ කෙරිණි .එහිදී පැකේජ 4 ක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරන මීරිගම සිට පොතුහැර දක්වාවූ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඒ ඒ පැකේජ තුල තෝරාගත් බිම් ප්‍රදේශ වල මගුල් කරද සහ රොබරෝසියා පැල 200 කට ආසන්න ප්‍රමාණයක් රෝපණය කෙරිණි.
මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මධ්‍යම අධිවේගී මාර්ගය අපට අවසන් කරන්න තිබුනේ මීට මාස නවයකට දහයකට කලින්. නමුත් කලින් පැවති යහපාලන රජය ඔවුන්ගේ යාළු මිත්‍රයන්ට ඇමතිවරුන්ට අයත් සමාගම් වලට කොන්ත්‍රාත් ලබාදීම හරහා තමයි මෙය සම්පූර්ණයෙන් ප්‍රමාද වුණේ. එහෙම වුණේ නැත්තම් මේ රටේ ජනතාවට මීට මාස 10කට පමන පෙර සිට මධ්‍යම අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න තිබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා කැබිනට් එකට මගීන් වැඩ නොකරන කොන්ත්‍රාත්කරුවන්ව අවලංගු කරලා, උසාවි ගොස් උසාවියේ දී උන පොදු එකඟතාවයකින් නොවැම්බර් මාසෙ 15 වෙද්දි මේ අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කරන්න. ජනතාවට කියනවා අපි නිවැරදි තීන්දු තීරණ ගන්නෙ කියලා. අපි දේශපාලන පලිගැනීම් කරන්න ගියේ නැහැ. අපි දේශපාලන පලිගැනීම් කලා නම් මේ වැරදි කරපු අය මේ වෙද්දි ඉන්න ඕනි හිර ගෙවල් වල. අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ මේ රට ඉදිරියට ගෙන යාම විතරයි අපගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා නොවැම්බර් මස 15 වෙද්දි සම්පූර්ණයෙන්ම මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය වැඩනිම කරලා එය මහජනතාව විවෘත කරන්න මම බලාපොරොත්තු වෙනවා''යැයි පැවසීය