ගෑස්, ද්‍රව ස්වාභාවික වායු , හයිඩ්‍රජන් සහ බලශක්ති කර්මාන්ත සඳහා සහාය වන ලොව විශාලතම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ගෑස්ටෙක් වේ. එමෙන්ම 2050 වසර වන විට ලෝකයේ කාබන් ශුන්‍ය බලශක්ති පාරිභෝජනය සඳහා වන ප්‍රතිපත්ති නිර්මාණය කරන ගෝලීය වේදිකාවක් ලෙස ද ගෑස්ටෙක් සමුළුව ක්‍රියාත්මක වේ.
ගෑස්ටෙක් සමුළුව අමතමින් බලශක්ති අමාත්‍යවරයා 2050 වර්ෂයේදී කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම ඉහල නැන්වීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති වේගවත් කිරීම පිළිබඳ කරුණු දක්වනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලකයා ද වන ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සදහා ලෝකය පුරා රටවල බලශක්ති අමාත්‍යවරුන් මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් සහභාගිවීමට නියමිතය.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම යන මහත්ම මහත්මීන් බලශක්ති අමාත්‍යවරයා සමඟ මෙම සමුළුවට සහභාගි වෙති.
මීට අමතරව ශ්‍රී ලංකාවට දිගු කාලීණ ණය පදනමක් යටතේ ඛනිජ තෙල් මිල දී ගැනීම පිලිබද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති ඇමතිවරයා සහ තෙල් සමාගම් ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.
ගෑස්ටෙක් සමුළුවෙන් අනතුරුව බලශක්ති අමාත්‍යවරයා ඉරානයේ නිල සංචාරයකට එක්වීමටද නියමිතය. එහිදී ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය ජාවඩ් ඕව්ජි මහතා සමග ඉරාන ශ්‍රී ලංකා ද්වීපාර්ශවික බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද අමාත්‍යවරයා බලාපොරොත්තු වේ.