පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කුමන අලුත් ප්‍රභේද ආවත් එයට විසඳුම ලෙස ඉදිරියට යා හැක්කේ එන්නත්කරණය මගින් පමණයි -මහාචාර්ය නීලිකා මලවිගේ

    සැප්තැම්බර් 19, 2021

    කුමන අලුත් ප්‍රභේදයක් පැමිණිය ද එයට විසදුම ලෙස ඉදිරියට යා හැක්කේ එන්නත්කරණය මගින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියාය.

    ඇය මේ බව පැවසුවේ, අද (19) වසංගතය නිමාවී ''වසන්තය එනවා සත්තයි'' යන මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ , රූපවාහිනී නාලිකා රැසක විකාශනය කෙරුණු විශේෂ වැඩසටහනේ දී කරුණු පැහැදිළි කරමිනි.

    ලංකාවේ දැනට පවතින ඩෙල්ටා ප්‍රභේදය සහ වෙනත් රට වල ඇති ප්‍රභේද අතර විශාල වෙනස්වීමක් සිදුව ඇති බව දැනගන්නට ලැබී නොමැති යැයිද, සුළු සුළු වෙනස්කම් සෑම රටකම ඇති ප්‍රභේද වල සිදුවන බවද, සෑම ප්‍රභේදයක්ම ටිකෙන් වික අනුවර්තනය වීමෙන් පසුකාලීනව නව ප්‍රභේද හටගන්නා බවද මහාචාර්යවරිය සඳහන් කළාය.

    1918 සහ 1919 වසර වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ලොවම පීඩාවට පත්වූ අතර පළමු සහ දෙවන ලෝක යුද්ධයටත් වඩා වැඩි මිනිස් ජීවිත ගණනක් බිලි ගනිමින් ඉන් මිලියන 50ක් පමණ මිය ගිය බවද, ඇය සිහිපත් කළාය.

    මේ සදහා ස්වභාවිකව සහ එන්නත්කරණයෙන් ජනතාවට ප්‍රතිශක්තිකරණය ලබාදුන් පසු වර්තමානයේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද ඇතත් වසරින් වසර ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙහි ප්‍රභේද වෙනස් වෙමින් ලොවපුරා වෛරසය ජනතාවට වැළදුණද, 1918 සහ 1919 වසරවල තත්ත්වය දැන් දක්නට නැතැයිද, එයට හේතුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධව ජනතාවගේ ප්‍රතිශක්තීකරණය සෑදී තිබීම බවද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අවධාරණය කළේය.

    එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා සඳහා බටහිර රටවල සහ සංකූලතා ඇති අය සඳහා සෑම වසරකම එන්නතක් ලබාදෙන බවද ඇය සඳහන් කළාය.

    කොවිඩ් වලදී මෙම ඩෙල්ටා ප්‍රභේදය ටිකෙන් ටික වෙනස්කම් වලට භාජනය වෙමින් නව ප්‍රභේද ඇතිවිය හැකි බවද, ජනගහණයේ ප්‍රතිශක්තීකරණය යම්කිසි මට්ටමකට පැමිණි පසු කොවිඩ් කුමන ප්‍රභේදය රටට පැමිණියද එතරම් බිය විය යුතු නොමැති බවද, එන්නත්කරණය මගින් අදාළ මට්ටම දක්වා ජනගහණය වෙත රැගෙනයාම මෙම වසංගතයෙන් එළියට යා හැකි එකම ක්‍රමවේදය බවද මහාචාර්යවරිය අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya