මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධි ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව වයඹ නාවික විධානය මගින් 2021 සැප්තැම්බර් 18 වන දින සවස් කාලයේ මන්නාරම දකුණු මුහුදේ, පි - 261 සහ පි - 233 වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංගණය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුල් වී තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම යාත්‍රාවේ තිබූ නීතී විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 60ක අසුරන ලද වියළි කහ කිලෝ 2100ක පමණ තොගයක් සමඟ එම ඉන්දීය ඩව් යාත්‍රාව සහ ඉන්දීය ජාතික සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගන්නා ලදී. මෙම ඉන්දීය ඩව් යාත්‍රාව මඟින් රැගෙන එන ලද වියලි කහ මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කර තිබෙන්නට ඇතැයි සැක කෙරේ.
එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රියේ මන්නාරම, සවුත්බාර් කළපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කළපුව ඔස්සේ ගොඩබිමට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරික්‍ෂාවට ලක් කර එම යාත්‍රාව තුල තිබූ නීතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ උර 20ක අසුරන ලද වියළි කහ කිලෝ 866 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගන්නා ලදී.
තවද, 2021 සැප්තැම්බර් 16 උදෑසන උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණයේ කණ්ඩායමක් විසින් ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම් කරුවන් විසින් ඉරුක්කලම්පිඩ්ඩි කළපුව තුළ ගිල්වා තිබූ උර 22ක අසුරන ලද වියළි කහ කිලෝ 738 ග්‍රෑම් 700ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙම මෙහෙයුම් මඟින් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික සැකකරුවන්, වියලි කහ සහ ඉන්දීය ඩව් යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
තවද, මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස අවුරුදු 18ත් 48ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත භාරදෙන ලදී. එහිදී නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දෙන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.