පසුගිය රජය සමයේ සතොස ආයතනයේ අලාභය රුපියල් බිලියන 20ක් බවත් සැපයුම්කරුවන්ට පමණක් රුපියල් බිලියන 08ක මුදලක් ගෙවීමට තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට ඒක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
තමා භාර ගත්තේ රුපියල් බිලියන 28ක විශාල වශයෙන් අලාභ ලැබූ ආයතනයක් බවත්, තමා හෝ තම කාර්යමණ්ඩලයේ කිසිවෙකු සතොස ආයතනයේ සුදු ලූනු සිදුවීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කළ බව හෝ අල්ලසක් ගත් බව ඔප්පු වුවහොත් තමා දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නිසි ක‍්‍රමවේදයෙන් බැහැරව පෞද්ගලික තොග වෙළෙඳ ආයතනයකට සතොස ආයතනයේ සුදුලූනු කිලෝ 54,860 ක් අලෙවි කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන්, පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවත් අදාළ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සේවයෙන් ඉල්ලා අස් වූ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට තමා කිසිම අයුරකින් බලපෑමක් සිදු කර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.