ජල සම්පාදන අමාත්‍යතුමාගේ උපදෙස් මත මාධ්‍යවේදීන් සඳහා වූ මෙම ජල යෝජනා ක්‍රමයේ නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා ( 23) පැවැත් වුනි .
මෙහිදී මෙම ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙම්මාතගම ජල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම යෝජනා ක්‍රමය රුපියල් මිලියන 17,500 ක වියදමකින් ආරම්භ කොට මේ වන විට 50% ඉක්මවූ වැඩ කොටසක් නිමා වී ඇති බවයි.
නෙදර්ලන්ත රජයේ ආධාර මත ක්‍රියාත්මක මෙම ජල යෝජනා ක්‍රමය සඳහා ඝන මීටර විසිඑක් දහසක ජල පවිත්‍රාගාරයක් සහ ඝනමීටර් 2000 ක ධාරිතාවයෙන් යුතු සේවා ජලාශ 07 ක් ද ඉදිවන බව කියා සිටියේය.
මා ඔය අසුපිනි ඇල්ල දිය උල්පත ආශ්‍රිතව ඉදිකෙරෙන විශේෂ ජල තටාකයක් මඟින් මෙම ජල යෝජනා ක්‍රමය සඳහා අවශ්‍ය ජලය ලබාගැනීම සිදුකරන අතර දිනකට ඝන මීටර් 24,000 ක ප්‍රමාණයකින් යුතු පානීය ජලය බෙදාහැරීමක් මේ යටතේ සිදුකෙරේ.
මෙම ජල යෝජනා ක්‍රමය මඟින් රඹුක්කන, අරනායක, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ග්‍රාම නිළධාරී වසම් 135 ක් ආවරණය වන අතර කිලෝමීටර් 138 ක් දුර නව ජල නල එලීම තුලින් ජලය බෙදාහැරීම සිදු කරනු ලැබේ.
නව තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් දේශීය සහ විදේශීය ඉංජිනේරු දැනුම සහ සැලසුම් ප්‍රකාරව මෙම යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන අතර ලබන වසර තුලදී මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ කටයුතු නිමාවට පත්කිරීමට බලාපොරොත්තු වන බවද ව්‍යාපෘති අධ්‍යක්ෂ, ලලිත් විජේසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දන්වා සිටියේය.
මෙම යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ මෙතෙක් පානීය ජලය නොලැබු නිවෙස් සඳහා නව ජල සම්බන්ධතා 15,300 ක් අලුතින්ම ලබාදෙන අතර දැනට අඛණ්ඩව ජල සැපයුමක්
නොලැබීම සහ පවතින ජල සැපයුම අඩු ධාරිතාවයකින් ලැබෙන ප්‍රදේශයන්හි ජල සම්බන්ධතා 47,720 ක් වැඩිදියුණු කර පැය 24 පුරා අඛණ්ඩව ජල සැපයුම ලබාදීමයි.