ජාතික පාරිසරික පනත ඒ ඒ කාලවල දී සිදුවිය යුතු වෙනස් කම් සැළකිල්ලට ගනිමින් කිහිප වරක් සංශෝධනය කර තිබේ. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත 1988, 2000, 2018 හා 2019 වශයෙන් අවස්ථා කිහිපයක දී සංශෝධනය කරනු ලැබ තිබේ.
නමුත් වර්තමානයේ පැන නැගී තිබෙන පාරිසරික ගැටළු ඉතාමත් සංකීර්ණ බැවින් ජාතික පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ක්‍රියාත්මක කරන විධිවිධාන මෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන පාරිසරික හානි කිරීම්වල දී අය කරන දඩමුදල් මෙන්ම දඩුවම් ද ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත.
උදාහරණ වශයෙන් 2018 සිට ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම, හා අලෙවිය තහනම් කර ඇති නමුත් නීතිවිරෝධී ලෙස ඒවා නිෂ්පාදනය කිරීම මෙන්ම බෙදාහැරීම හා අලෙවිය සිදු කෙරේ.
වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් එහෙත් ඒ සඳහා ඇති දඩමුදල් හා දඩුවම් ප්‍රමාණවත් නොවේ. එමෙන්ම සංරක්ෂිත පරිසර කළාපවල සිදුකරන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව ද දැනට ඇති නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් ඒවා ද ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ.
පරිසරය විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධව ක්‍රියාත්මක කරන දඩුවම් දැනට වඩා දහගුණයකින් ඉහළ දැමීමට නව සංශෝධන මගින් යෝජනා කර ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ අනුව පරිසර අමාත්‍යාංශය විසින් මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති සහ අනාගතයේ දී පැන නැගෙනු ඇතැයි අපේක්ෂීත නෛතික හා ආයතනික ගැටළුවලට සෙවීමේ අරමුණ පෙරදැරිව මෙම නව සංශෝධන ඇතුළත් කරන බව ද අමාත්‍යවරයා පවසයි.