පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතුයි

    ඔක්තෝබර් 01, 2021

    මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී යෝජනා කරයි.

    දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි දෙමින් (29) පැවසීය. සමහර දේශපාලන පක්ෂ දිස්ත්‍රීක්කයකට පමණක් සීමා වී ඇත.වර්තමානය වන විට පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවල ගැටලු මතුව ඇති බවද හෙතෙම කීවේය.

    ජාතික වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ, ලියාපදිංචි පක්ෂ සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස දේශපාලන පක්ෂ වර්ගකර, ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවද නිමල් පුංචිහේවා මහතා කාරක සභාවට යෝජනා කළේය.

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය. නාමයෝජනා භාර දීමේදී මතුවන තාක්ෂණික ගැටලු නිරාකරණය සඳහා අවම වශයෙන් පැය 24 ක කාලයක් ලබා දිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී යෝජනා කළේය.

    ස්වාධීන දේශපාලන පක්ෂවලට පමණක් සීමා වී ඇති ඇපමුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහාද අදාළ කරගත යුතුය යන්න එම කොමිෂන් සභාවේ මතය විය. ඇප මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදය කාලිනව සංශෝධනයට ලක්කළ යුතු බවද ඔවුහු පැවසූහ.

    නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවද කොමිෂන් සභාව කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    මැතිවරණයක ජන්දය භාවිත කිරීමේ වේලාව අවසන් වන විට පොලිම්ගතව සිටින ජන්ද දායකයන්ට ජන්දය භාවිත කිරීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බවටද කොමිෂන් සභාව යෝජනා කළේය.

    “මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතයවේ” යන්නද එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී කීවේය.

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ලෙසම පැවතිය යුතු බවත්, ඉන් 140 ක් කොට්ඨාස මට්ටමින්ද, 70 ක් දිස්ත්‍රීක් සමානුපාතික ක්‍රමයෙන්ද, 15 ක් ජාතික ලැයිස්තුවෙන්ද තෝරා ගත යුතු බවට හෙතෙම යෝජනා කළේය.

    නාම යෝජනා භාරදී අවසන් වූ පසු අපේක්ෂකයන්ට තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, සෞඛ්‍ය ආදි අත්‍යාවශ්‍ය සේවා වලටද තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු මෙහිදී කීවේය.

    පූර්ව ජන්දය භාවිත කිරීමේ අයිතිය තහවුරු කළ යුතු බවත්,ඊට විශේෂ ජන්ද මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අදහස විය.

    ජනතා නියෝජිතයින් ආපසු කැඳවීමේ ක්‍රමවේදයක් පැවතිය යුතු බවද, ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සැකසිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.

    නව සංශෝධන වලදී ද්විත්ව ජන්ද පත්‍රිකා භාවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්,මැතිවරණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී අවධාරණය කළේය.

    මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවීමට කටයුතු කළ යුතු බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. මැතිවරණ වියදම් පාලනය සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි ස්ථාවරයක
    සිටින බවද ඔහු කීවේය.

    එම වියදම් පාලනය සඳහා මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී පැවසීය.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මාධ්‍ය උපමාන රාජ්‍ය මාධ්‍යට පමණක් නොව පෞද්ගලික මාධ්‍යටද අදාළ කරගත හැකි බව නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ජා විය.නීතිපති දෙපාර්තමේන්තුවේ සාමජිකයෝද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

    මෙම කාරක සභාවට අමාත්‍ය මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතාද,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රංජිත් මද්දුම බණ්ඩාර,මනෝ ගනේෂන්,එම්.ඒ සුමන්තිරන්,මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් ලබන අද (30) පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya