පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ළමුන්ට එරෙහි අපයෝජන,අපරාධ වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙලක්

    ඔක්තෝබර් 01, 2021

    ළමයින් සම්බන්ධ අපරාධ නඩු යනා දී නීතිමය ක්‍රියාමාර්ගවලදී ළමුන් සාක්ෂිකරුවන් ලෙස උසාවිය වෙත කැඳවීම වැළැක්වීම සම්බන්ධ නීතිය මෙරට තුළ බලාත්මක කරන බව අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ, අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ලෝක ළමා දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (30) පැවති මාධ්‍ය හමුවට ඒක්වෙමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ළමා සාක්ෂිකරුවන් උසාවිය වෙත භෞතිකව නොකැඳවා ඔවුන්ගේ සාක්ෂි වීඩියෝ පට වැනි තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගෙන ඉදිරිපත් කිරීම මෙහිදී සිදු වේ. මීට අවශ්‍ය පහසුකම් සහිතව රොටරි සමාජයේ ද සහයෝගයෙන් නිමැවූ විශේෂ මැදිරියක් “ළමා පියස” නමින් හෙටට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.

    වර්තමානයේ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුකෙරෙන අපයෝජන ආදී අපරාධ වැඩි වී ඇති බැවින් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය ප්‍රමුඛව එම අපරාධ වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය. වයස අවුරුදු 16 ට අඩු දරුවකු සමග එම දරුවාගේ කැමැත්ත සහිතව වුවද ලිංගිකව හැසිරීම නීතියට අනුව වරදක් බව පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධව පුළුල් සමාජ දැනුවත්කිරීමක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය. එවැනි වරදක් යම් පරිශ්‍රයක සිදුවුවහොත් වරදට සෘජුව සම්බන්ධ වන තැනැත්තන් සේම ඊට තම පරිශ්‍රයන් සපයන තැනැත්තන්ද වරදකරුවන් වේ. මේ පිළිබඳව ලැගුම් හල් වැනි ස්ථානවලට සම්බන්ධ පුද්ගලයින් දැනුවත් කෙරේ.

    ළමා අයිතීන් තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියේදී ළමයින් සම්බන්ධ අපරාධ නඩුවලදී පුද්ගල සාක්ෂිවලට වඩා විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි සාක්ෂිවල විශ්වසනීයත්වය හා කාලය සමග වෙනස්නොවීමේ ලක්ෂණයද වැඩි බවයි.

    දරුවන්ට සිදුවන අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන ශ්‍රී ලංකා පොලීසිය සිය වගකීම උපරිමයෙන් ඉටුකරන බව පැවසූ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ළමුනට අපරාධයක් සිදුවූ පසු ඊට එරෙහිව නීතිමය කටයුතු කරනවාට වඩා එවැනි අපරාධ වැළැක්වීමට ප්‍රමුඛතාව දෙන බව අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya