පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මෙරට සෞඛ්‍ය සේවාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් - සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 03, 2021

    මෙරට සෞඛ්‍ය සේවාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් බවත්, දකුණු ආසියාවේ ප්‍රමුඛ දර්ශක ශ්‍රී ලංකාව ළඟා කර ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුවැල්ල මහතා පවසයි.

    රටේ රෝහල්ගත ක්‍රියාවලීන් වලින් 95% ක් සහ රෝග නිවාරණ සේවාවන්ගෙන් 99% රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් සිදු කිරීම ආඩම්බරයක් යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (02) පැවති අලුතින් බඳවා ගැනෙන සීමාවාසික වෛද්‍යවරුන් සඳහා වන යහපත් සීමාවාසිකයා පුහුණු වැඩසටහනට එක්වෙමින් මේ බව පැවසීය.

    පූර්ණ නේවාසික වෛද්‍යවරුන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන යහපත් සීමාවාසිකයා වැඩසටහන ලෙසින් නම් කර ඇත. මෙමගින් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක බව දියුණු කිරීම අපේක්ෂාවයි.මෙහි පළමු පියවර ලෙස සිංහල,දෙමළ , ඉංග්‍රීසි භාෂා පුහුණුව සති දෙකක කාලයක් ලබා දෙයි. 2013 වසරේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 4400 ට මෙලෙස දෙවන භාෂා පුහුණුව ලබා දී ඇත. එමෙන්ම රෝගී සත්කාරය සඳහා අත්‍යවශ්‍ය ප්‍රායෝගික සායන පුහුණු පාඨමාලාවද මින් ලබා දේ. එමෙන්ම සායනික කුසලතා දියුණු කිරීම සඳහා වන පාඨමාලාවක්ද මෙයට ඇතුළත් වේ. මෙම සියලු පුහුණු වැඩසටහන් තුළ සීමාවාසික වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය, මහජන සන්නිවේදනය ආදිය ප්‍රගුණ කිරීමද සිදු කෙරේ.

    විශේෂයෙන්ම මෙම ගෝලීය වසංගතය ඉලක්ක කර ගනිමින් කොවිඩ් හමුවේ වෛද්‍යවරුන් කටයුතු කළ යුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් ඔස්සේ පෙන්වා දීම මෙවර පාඨමාලාව තුළින් සිදු වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය , ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සමගින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණි.

    මෙරට සෞඛ්‍ය සේවකයන් විශේෂයෙන් අපගේ වෛද්‍යවරුන්ට ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. 2018 ලෝක බැංකු වාර්තාවට අනුව, සජීවී දරු උපත් 100,000 කට මාතෘ මරණ අනුපාතය 33.8 ක් ද, උපත් 1000 ක් සඳහා ළදරු මරණ අනුපාතය 9 ක් ද, උපතේ දී ජීවිත අපේක්ෂාව වයස අවුරුදු 75 ක්ද බවට පෙන්වා දී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.

    වසර එක හමාරක් පුරාවට ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දැඩි කැපවීමෙන් කටයුතු කළ ඉදිරි පෙළ සියලු සෞඛ්‍ය අංශ වෙත ජාතිය වෙනුවෙන් කෘතවේදීත්වය පිරිනමන්න කැමතියි. සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම වෙනුවෙන් වෛද්‍යවරයෙකු තමාගේ කාර්යභාරයෙහි නිපුණතාවයකින් යුතු අයෙක් විය යුතුයි.එම නිසා වෛද්‍යවරුන්ගේ සංවර්ධනය ඉහළ නිපුණතාවයකින් පැවතීම අත්‍යවශ්‍යයයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපති වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ සංකල්පයක් අනුව 2013 වසරේදී ආරම්භ කරන ලද යහපත් සීමාවාසිකයා වැඩසටහන මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී තත්ත්වයකි.

    වෛද්‍යවරයෙක් වීමේ ගමන රෝස මල් යහනාවක් නොවෙයි.කටුක ගමනකි. වෛද්‍ය ශිෂ්‍යයා දැඩි උපාධි අපේක්ෂක විෂය මාලාවක් විඳදරාගෙන ඇති අතර එය අනෙකුත් උපාධි හා සසඳන විට දෙගුණයක් පමණ වන අතර දැඩි සායනික පුහුණු ජයගෙන ඇත. සීමාවාසික පුහුණුව යනු එම දැනුම හා කුසලතා යෙදීම සහ වෘත්තිකයෙකු ලෙස වැඩ කිරීමයි.

    මෙම අවස්ථාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක ,මහාචාර්ය අර්ජුන අළුවිහාරේ යන මහත්ම මහත්මීන් හා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලධාරිහු පිරිසක් එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya