පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහරගම අපේක්ෂා රෝහලට බස් රථයක් පරිත්‍යාග කෙරේ

    ඔක්තෝබර් 03, 2021

    ගෝලීය කොවිඩ් වසංගතයට මුහුණ දී එය වඩාත් සාර්ථකව පාලනය කරන අතරතුර අනෙකුත් සියලු රෝගී සේවාවන් සඳහාද මෙරට සෞඛ්‍ය අංශය උපරිමයෙන් කැප වී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මහරගම අපේක්ෂා රෝහල සඳහා අශෝක් ලේලන්ඩ් සේවක සුභ සාධක සංගමය මගින් නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. 306 සී 2 ජාත්‍යන්තර සිංහ සමාජයේ ඉල්ලීමක් හා මැදිහත් වීමක් මත මෙම බස් රථය අපේක්ෂා රෝහලට ලැබිණි .

    එමෙන්ම කුමන අභියෝග හමුවේ වුවද පිළිකා ඇතුළු බෝ නොවන රෝග සම්බන්ධයෙන් වන අභියෝගයට මෙරට සෞඛ්‍ය සේවාව මේ මොහොතේද නිසි ලෙස මුහුණ දී සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    විශේෂයෙන් පිළිකා වැනි රෝගී තත්වයන් කෙරෙහි දක්වන අවධානය මේ තත්ත්වය තුළ කිසි ලෙසකින් පසුපසට තැබිය නොහැකියැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. අසීරු තත්වයක් තුළ වුවද ඒ සඳහා දක්වන සැලකිල්ල අවධානය හා ප්‍රමුඛතාවය එලෙසින්ම පවත්වාගෙන යන බවද හෙතෙම කීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    මේ අවස්ථාව සමස්ත ලෝකයම මහා ඛේදවාචකයකට ලක්වූ කාලයකි. මෙම ඛේදවාචය සමග එම අභියෝගය බාර ගෙන අභියෝගය හා සටන් කරන මොහොතක අපට සාමාන්‍ය සේවාවන් අමතක කරන්න බැහැ. එම සේවාවන් අමතක කරන්න පුළුවන් නම් අපිට කොවිඩ් වසංගතය ගැන පමණක් හිතන්න පුළුවන්නම් හොදයි. ඒත් එය එසේ කළ නොහැක.

    පිළිකා ඇතුළු බෝ නොවන රෝග සම්බන්ධයෙන් අපි විශාල අභියෝගයකට මුහුණ දෙන තැනකට පත්ව තිබෙනවා . එවැනි අවස්ථාවක කුමන වසංගතය ලෝකයම වෙලා ගනු ලැබුවද අපිට ඒ තත්ත්වය දෙවැනි තැනට දා අනෙක් දෑ වලට මුල්තැන දෙනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එහෙත් එය අමාරු කළමණාකරණයකින් කළ යුතුය. එලෙස කටයුතු කරන විට අපට කවදාවත් අමතක කරන්නට බැහැ මේ රටේ වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවයේ සුළු සේවකයා දක්වා මහා දැවැන්ත සේවාවක් සිදු කරන බව. එය අවිවාදයෙන් පිළිගත යුතු දෙයක්.

    අපි ලෝකය සමග සංසන්දනය කරන විට ලෝකයේ දියුණුයි කියන රටවල් මුල් යුගයේදී මා දැක්කා වෛද්‍යවරු සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියා. හෙදියන් එහි බැරෑරුම් කම දැක සෞඛ්‍ය සේවයෙන් ඉවත් වුණා. එවැනි පසුබිමක් තුළ අපි වාසනාවන්ත ජාතියක්. අපේ සෞඛ්‍ය සේවයේ කිසිම අවස්ථාවක එහෙම හිතන්නටවත් කිසිවකු පෙළඹුණේ නැහැ. සියළු දෙනා වගකිම බාර අරගෙන ජිවිත පරදුවට තබා අවධානම් තත්ත්වය නොතකා රාජයකාරියක් හැටියට නොවෙයි යුතුකමක් ,සේවයක් ලෙස සළකා කටයුතු කළා. එවැනි අවස්ථාවක සිංහ සමාජය වැනි සංවිධාන ඉදිරියට පැමිණියා . අශෝක් ලේලන්ඩ් ආයතනය අපට මහා ශක්තියක් වී තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ ,අශෝක් ලේලන්ඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි උමේෂ් ගෞතම්, දිස්ත්‍රික් 306 සී 2 සිංහ සමාජයේ සිංහාධිපති රොෂාන් කාංචන යාපා, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya