පසුගිය ඔක්තොම්බර් මස 01 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඔක්තොම්බර් පළවනදාට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දිවයින පුරා වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා වසර 23ක් පමණ ගත වුවද, නිසි දත්ත පද්ධතියක් නොමැති වීම විශාල අඩුපාඩුවක්ව තිබුණි. ඒ අනුව හෙට දින (05) එම දත්ත පද්ධතිය ජනගත කිරීමට නියමිතය.
මීට අමතරව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ගීතය ජනගත කිරීමද හෙට දිනයේදී සිදු වේ. ජංගම දුරකථන පරිශීලකයින්ට වඩාත් පහසු ලෙස යළි සැකසූ ළමා හිතකාමී වෙබ් අඩවිය විවෘත කිරීමද හෙට දිනයේදී සිදු වේ. ළමා සුබසාධනයට උනන්දු දානපතියන්ට ඉදිරියේදී එම වෙබ් අඩවිය උපයෝගී කරගෙන දරුවන් වෙනුවෙන් ධන පරිත්‍යාගයට පහසුකම් සැලසේ. මෙම පරිත්‍යාග බදු වලින් නිදහස් අතර Payment Gateway පහසුකම හා ප්‍රමිතිගත තාක්ෂණික උපක්‍රම මේ සඳහා යොදා ගැනේ. ලංකා බැංකුවේ දායකත්වයෙන් මෙම කාර්යය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
''සිතුවිලි සිත්තම්'' නමින් චිත්‍ර තරඟ පැවැත්වීම, ඒකාංගික ටෙලිනාට්‍ය නිර්මාණය, දරුවාට සිය ආරක්ෂාව සලසාගැනීම හුරු කරන පරිගණක ක්‍රීඩා හඳුන්වා දීම, ළමයින් ආරක්ෂා කරගැනීම සම්බන්ධව වැඩිහිටියන්ට භාෂාත්‍රයෙන් වැඩමුළු පැවැත්වීම, හඳුනාගත නොහැකි ආබාධ සහිත දරුවන්ගේ ආබාධ හඳුනාගැනීමේ මාර්ගෝපදේශ නිකුත් කිරීම වැනි වැඩසටහන් 14 ළමා ආරක්ෂක අධිකාරිය විසින් මෙම මාසය පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.