පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තෙල් වෘත්තීය සමිති කියන්නේ බොරු- ඛනිජතෙල් සංවර්ධන පනතට විරුද්ධ වෙන්නේ මව්බිමේ සතුරන් පමණයි - බලශක්ති ඇමති

    ඔක්තෝබර් 04, 2021

    ඔක්තෝම්බර් මස 6 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ඛනිජතෙල් සංවර්ධන පනතින් සිද්ධවෙන්නේ වසර දහස් ගණනක් මහපොලව යට සැඟවී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩගෙන රටක් ගොඩදාන සැලැස්මට අදාළ නීති විධිවිධාන සකස් කෙරෙන පනතක් බවත් එම වෑයමට කවුරුන් හෝ විරුද්ධ වෙනවනම් ඒ විරුද්ධ වෙන්නේ මව්බිමේ සතුරන් පමණක් යැයි බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

    බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (04) සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවේ දී මේ බව අවධරණය කළේ ය.


    තවදුරටත් එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

     

    ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකතු වී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දියානු විදේශ ලේකම් වරයාත් මමත් ත්‍රිකුණාමලයට ගොස් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට භාර දීමට කටයුතු කරමින් ඉන්නවා ඒ කියලා එම මාධ්‍ය හමුවේ දී චෝදනා නගනවා. තමන් සේවය කරන ස්ථානය පිළිබඳ නිවැරදි තොරතුරු වෘත්තීය සමිති විසින් නොදැන සිටියත් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි සීයම 1987 සහ 2003 අත්සන් කල ඉන්දු - ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව හා ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් පමණමයි.

     

    අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රිකෙනෙක් මෙන්න උදය ගම්මන්පිල ඇමතිතුමයි ඉන්දියාවේ විදේශ ලේකම්තුමයි ත්‍රිකුණාමලයට ගමන්කරණ හෙලිකොප්ටරයේ දර්ශනයක් කියලා, මාධ්‍ය වලින් හෙලි කොප්ටරයක්ද පෙන්වන වා. ඒ ලේකම් වරයා මා සමග හෙලිකොප්ටර් සවාරි යනවා තබා මා හමු වීමට අවස්ථාවක් වත් ඉල්ලා නෑ. එමෙන්ම ඉන්දියාවේ දී ප්‍රසිද්ධ කර තිබුණු ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරණු ලබන කාරනා අතර මා සමග සාකච්ඡා කිරීමට අදාළ හෝ මගේ විශයට අදාළ කිසිදු කරුණක් සදහන් වෙලත් නෑ.

     

    දේශපාලනික ස්වාමීන්වහන්සේ නමක් වන පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සහා දරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100 ම උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබන සමගි ජන බලවේග නායකයන් කලින් හිටපු එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි. උදය ගම්මන්පිලට ඉතිරිව ඇත්තේ යලි එය ඉන්දියාවෙන් ලබාගැනීම පමනයි කියන එක අපේ පූජනීය ඕමල්පේ නායක ස්වාමීන්වහන්සේට ඉතාම නමස්කාර පූර්වකව සිහිපත් කරනවා. අපේ නායක හාමුදුරුවනේ ඔහොම බොරු කියන්න එපා දේශපාලනික අරමුණු වෙනුවෙන්. මොකද මුසාවාදා සිල්පදය ගිහියන්ට වගේම ඔබ වහන්සේලාටද අදාලයි කියන එක නමස්කාර පූර්වකව උන්වහන්සේට සිහිපත් කරණවා.

     

    ඒ වගේම තෙල් සංස්ථාවේ ඒකාධිකාරය බිඳින්න පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාය ඒකට අපි විරුද්ධ වෙනවාය කියන එක විපක්ෂයේ මන්ත්‍රිවරුනුත් තෙල් සංස්ථා වෘත්තීය සමිතිත් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශකර තිබෙනවා. ඔක්තෝම්බර් මස 6 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ඛනිජතෙල් සංවර්ධන පනතින් සිද්ධවෙන්නේ වසර දහස් ගණනක් මහපොලව යට සැගවී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩට ගෙන රටක් ගොඩදාන සැලැස්මට අදාල නීති විධිවිධාන තියෙන පනතක්. තෙල් සංස්ථාව ගැන එක වචනයක් මෙම පනතේ කොතනකවත් සදහන් වෙන්නේ නෑ. මහ පොලව යට සැගවී තිබෙන තෙල් හා ගෑස් සම්පත ගොඩ දාලා රට ගොඩදාන්න, අපි දරණ වෑයමට කවුරුන් හෝ විරුද්ධ වෙනවනම් ඒ විරුද්ධ වෙන්නේ මව්බිමේ සතුරන් පමණයි කියන එක අපි ඉතාම කනගාටුවෙන් වුනත් සිහිපත්කරන්න ඕනෑ.

     

    මීට මාස දෙකකට පමණ පෙර ඔය වෘත්තීය සමිතිවලම අය ඇවිත් ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා යැයි මාධ්‍ය හරහා කිව්වා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවයි කිව්වා. ඛනිජතෙල් හිගයක් ඇතිවෙනවයි කිව්වා. තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහෝසිවෙන පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කිව්වා. මේ අයගෙන් බොරු තුනයි. ඒ නිසා මේ අය කියන දේවල් තව දුරටත් විශ්වාස කළ හැකිද කියන එක මේ රටේ ජනතාව විසින් තීරණය කළ යුතුයි.

     

    විශේෂයෙන්ම තෙල් ටැංකි එජාප ආණ්ඩු විසින් ගිවිසුම් දෙකකින් ඉන්දියාවට බාරදෙන විට නිහඬව සිටි එජාප වෘත්තීය සමිති මම ඒවා ඉන්දියාවෙන් ආපසු ගන්න හදන විට “ඉන්දියාවට දෙනෝ” කියලා කෑ ගැසීම දෛවයේ සරදමක් විදිහටයි අපිටනම් හදුනාගන්න පුළුවන් වෙන්නේ.

     

    ඉන්දියානු විදේශ ලේකම් වරයා ත්‍රිකුණාමලයට ගියා තමයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකිද බැලුව තමයි. පසුගිය රජය එය ඉන්දියාවේ භුක්තියට බාරදීලා තියෙන නිසා ඒ අයට සම්පුර්ණ අයිතියක් තියෙනවා ඒ අයට ඒක බලන්න යන්න. ඒක කාගෙන්වත් අහන්න, අවසර ගැනීමේ අවශ්‍යතාවක් නෑ, අපි හදන්නේ මේ තෙල් ටැංකි ටික නැවත අපේ භාවිතයට ලබාගන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන යකඩ ගොඩක් බවට පත්ව ඇති මේ තෙල් ටැංකි රටේ ප්‍රයෝජනයට ගැනීමට හදද්දී ඊට විරුද්ධ වෙන්නේ රටේ සතුරන් පමණයි කියන එක අප නැවත වතාවක් කියනවා.

     

    ඉන්දියානු විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ යන්නේ අපේ තෙල් ටැංකි ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයා කිව්වාම අනිත් වෘත්තීය සමිති නායකයින් කිසිම සොයා බැලීමකින් තොරව අපේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවෝ කියා මුර ගාන්න පටන් ගත්තා. වෘත්තීය සමිති තමන්ගේ ආයතනය වෙනුවෙන් සොයා බැලීම කතාකිරීම ඇත්තෙන්ම හොද දෙයක්. නමුත් ඔවුන් තම අදහස් පල කළ යුත්තේ කරුණු සොයා බලා සත්‍ය තොරතුරු මත පදනම්ව තාර්කිකව මිස ඕප දූප මත පදනම්ව ආවේගශීලීව නොවේ.

     

    මේ අය රටේ ඇති කළ බොරු කලබැගෑනිය දැක්කම මට සිහිපත් වෙන්නේ තල් ගසක් යට නිදා සිටි හාවෙක් තල් ගෙඩියක් තල් අත්තට වැටෙන විශාල ශබ්දයක් ඇහුනම වහාම නින්දෙන් බයවී ඇහැරලා ලෝකය පෙරලනවෝ කියලා කැලය හරහා දුවන කොට අනික් සත්තුත් කිසිදු වග විභාගයකින් තොරව හාවා පිටුපස ලෝකය පෙරලෙනවෝ කියමින් දිව්ව කතාවයි. තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න යනවෝ කියන කතාව කියද්දී අඩුම තරමින් දැන් තෙල් ටැංකි තියෙන්නේ කා ගාවද කියන එක සොයා බලන්නේ නැතුව අපේ තෙල් ටැංකි දෙනවෝ කියල හඩ නගන වෘත්තීය සමිති අර හාවා පිටුපස ලෝකය පෙරලෙනවෝ කියමින් දුවපු සත්තු රැලත් අතර කිසිම වෙනසක් මටනම් පෙනෙන්නේ නෑ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya