පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාළඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති කඩිනම් කෙරේ

    ඔක්තෝබර් 05, 2021

    නිවාස නොමැති ජනතාවට නව නිවාස 3,000 ක් ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ මාළඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස සංකීර්ණ තුනේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ  මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වඩාත් කාර්යක්ෂමව සිදු කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


    නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල් කිහිපයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙම නිවාස ව්‍යාපෘති පිලිබඳව පැහැදිලිව සඳහන් කර තිබේ. ඒ අනුව මධ්‍යම පාංතික ජනතාවට නව නිවාස ලබා දීමේ මෙම වැඩසටහන තවත් එක් නිවාස වර්ගයක ව්‍යාපෘතියක් පමණි. මීට අමතරව නිවාස නොමැති අඩු අදායම්ලාභී පවුල්වලට, අසරණ පවුල්වලට සහ තවත් වර්ග කිහිපයක නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී.

    කොවිඩි - 19 වෛරසය පාලනය කිරීම සඳහා අදාළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් එම අභියෝගය ජය ගැනීමට රටක් වශයෙන් කටයුතු කරන අතර ම, රට සංවර්ධනය කිරීමට ගන්නා තවත් එක් පියවරක් වන මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඉහළ ම ප්‍රමිතියෙන් ඉදිකළ යුතු බවට අග්‍රාමාත්‍යතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

    මෙම නිවාස වැඩපිළිවෙල යටතේ කොට්ටාව, මාකුඹුරට නව නිවාස 314 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිවෙමින් පවතී. මාළඹේ නගරය මුල්කර ගනිමින් ඉදිවෙන මහල් නිවාස සංකීර්ණය නිවාස 256 කින් සමන්විත වේ. බොරලැස්ගමුව දේශයේ ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණයේ නව නිවාස 120 ක් ඇතුළත් වෙයි.

    ඉදිකෙරෙන මෙම සියලු නිවාස මධ්‍යම පාංතිකයන්ට ගැලපෙන, සරිලන ආකාරයෙන් ඉදිකෙරේ. මීට අමතරව වෙළඳ සංකීර්ණ ඇතුළු අවශ්‍ය පහසුකම් ද මෙම නිවාස සංකීර්ණ සතුවීම විශේෂත්වයකි. දැනට ඉදිකෙරෙමින් පවතින මෙම නිවාස ගෙවීමේ ක්‍රමයට ලබාදෙන අතර, ඒ සඳහා වසර 25 ක දිගු කාලයක් හිමිවෙයි. අඩුපොළි ප්‍රතිශතයක් ඒ සඳහා අය කරනු ලබන්නේ නිවාස මිලදී ගන්නා ජනතාවට ලබාදෙන සහනයක් වශයෙනි. මෙම නිවාස මිළදී ගැනීමේ දී එහි බැංකු ණය පහසුකම් ලබා දීමට අවශ්‍ය සම්බන්ධිකරණය ද සිදු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනු ලබයි.

    නව රැකියා අවස්ථා ලබා ගන්නා වෘත්තිකයින් ඇතුළු නිවාස නොමැති මධ්‍යම පාංතික ජනතාව වෙනුවෙන් නිවාස 3,000 ක් ලබා දීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකත් ගම්පහ, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකත් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. මෙම මහල් නිවාස සංකීර්ණවල ඉදිකෙරෙන නිවාස ඒකක වර්ග අඩි 700 කින් සහ වර්ග අඩි 900 කින් සමන්විත වේ. වර්ග අඩි 700 නිවාස නිදන කාමර දෙකකින් සමන්විත වන අතර, වර්ග අඩි 900 නිවාස නිදන කාමර තුනකින් ද සමන්විතයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya