පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රමිතිගත විදුලි කාර්මික දැනුම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹේ

    ඔක්තෝබර් 06, 2021

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" සංකල්පය යථාර්ථයක් කරනු පිණිස නිපුණතා දශකය ගොඩ නැගීමේ මහගු කාර්යයෙහි ඉලක්කගත අරමුණ වූ වසර පහක් තුළ නුපුහුණු ශ්‍රමිකයන් 10% ක් දක්වා අඩු කිරීමේ දැවැන්ත වගකීම, මල් ඵල ගැන්වීම සදහා රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය තම මෙහෙවරෙහි යෙදී සිටියි.

    ඒ අනුව පාසල් හැර ගිය දරුවන් වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු කරගනිමින් නිපුණතාවයෙන් යුතු ශිල්පීන් බිහි කිරීම හා රැකියාගතව සිටින වෘත්තිකයන් නිපුණත්වයෙන් යුතු ශිල්පීන් බවට පත් කිරීම කේන්ද්‍රකොට ගනිමින් පෞද්ගලික ව්‍යවසායකයන් හා එක්ව නිපුණතාවයෙන් පරිපූර්ණ ශිල්පීන් වෘත්තීය ක්ෂේත්‍රයට දායක කිරීමේ වැදගත් ප්‍රවේශයක් අද දින ගනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම වෘත්තීය පුහුණු ආයතනය ලෙස ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා නව්‍යකරණය හා විශිෂ්ටත්වය තුළින් කාර්මික ලෝකය ජය ගනිමින් විදුලි කාර්මික නාමය රැන්දු කෙවිල්ටන් පුද්ගලික සමාගම හා එක්ව ගිවිසුම්ගත වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2021.10.05 වන දින ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඔරුගොඩවත්ත K – Tec ආයතනයේදී සිදුවිය.

    දිවයින පුරා විසීරී සිටින කෙවිල්ටන් සමාගම හා සම්බන්ධ වෘත්තිකයන්ගේ පළපුරුද්ද හා බැදුනු ප්‍රායෝගික දැනුම පරීක්ෂාවට ලක්කොට එම ශිල්පීන්ගේ න්‍යායාත්මක දැනුම හා කුසලතාවයන්ගේ අඩුපාඩු පෙර ඇගයීම මගින් හදුනාගෙන, ඔවුන්ට අවශ්‍යවන යාවත්කාලීන දැනුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු අංශය මඟින් සිදුකර, අවසන් ඇගයීම් කටයුතුවලින් පසු RPL ක්‍රමවේදය යටතේ NVQ – Level 3 සහතික පත්‍ර ලබා දීම සිදු කරනු ලබයි. මේ සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන හා පුහුණු ද්‍රව්‍ය කෙවිල්ටන් පුද්ගලික සමාගම විසින් ලබා දීම විශේෂත්වයකි. ලෝකයේ ඉහළ තත්ත්වයකින් යුතු විදුලි උපකරණ නිර්මාණය හා ප්‍රමිතිගත විදුලි කාර්මික සේවාවක් ලබා දීම වෙනුවෙන් විදුලි කාර්මික ශිල්පීන් වෙත උසස් තත්ත්ව සහතිකයක් ලබා දීමට කෙවිල්ටන් ආයතනයත්, විදුලි ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කරවීම තුළින් රාජ්‍ය අවශ්‍යතාවය හදුනාගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීම මෙම රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද්විත්වය විසින් සිදු කිරිම සුවිශේෂී සමාජ මෙහෙවරකි.

    ඒ අනුව අද දින ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි සභාපති,ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා හා කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාර අධ්‍යක්ෂ එස්.පී.වීරසේකර මහතා විසින් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය, කෙවිල්ටන් පුද්ගලික ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නලීන් ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිස හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා උප සභාපති මහේෂ් ආරියරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද සහභාගී විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya