පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල සාර්ථකත්වයේ සංකේතයක්-ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත

    ඔක්තෝබර් 06, 2021

    ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල සාර්ථකත්වයේ සංකේතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පෙන්වා දෙයි. එය ලෝකයටම ආදර්ශමත් වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි යැයිද ඒ මහත්මිය පැවසුවාය.

     

    ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් (05) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පැවසීය. එම අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී මෙරට ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල පිළිබඳව සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරුන් දැනුවත් කරනු ලැබීය.

    ඉකුත් ජූලි මාසයේ ආරම්භ කෙරුණු එම වැඩපිළිවෙල ඔස්සේ මේ වන විට 90524 ක පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබේ. මෙම වැඩපිළිවෙල ඔස්සේ දෛනිකව දුරකථන ඇමතුම් මගින් වෛද්‍යවරයෙකු නිරන්තරයෙන් රෝගියා පිළිබඳ සොයා බැලෙන අතර , එම රෝගියාට කෙරෙන ප්‍රතිකාර හා ගතයුතු ඖෂධ පිළිබඳව නිරන්තර දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. දින 14 ක කාලයක් සිදු කෙරෙන මෙම ප්‍රතිකාර වැඩපිළිවෙල හේතුවෙන් රෝගීන්ට පහසුවෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි අතර , අනවශ්‍ය රෝහල් තදබදය මින් මගහැරේ.

    මේ වන විට 6211 ක පිරිසක් මෙම ප්‍රතිකාර වැඩපිළිවෙලට ලක් වෙමින් සිටින අතර , 15000 ට ආසන්නව පැවති එම තත්ත්වය වර්තමානය වන විට ඉතා පහළ අගයක් ගනු ලැබේ. මෙම වැඩපිළිවෙල සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක ආධාරයක් මෙරටට ලබාදී ඇති අතර එම වැඩසටහන පිළිබඳව ඔවුන්ගේ දැඩි අවධානයද යොමුව තිබේ. මෙම වැඩපිළිවෙල ඉදිරියටත් පවත්වා ගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපරිම සහයෝගය ලබාදෙන බවද ආචාර්ය අලාකා සිං මහත්මිය මෙහිදී කීය. විශේෂයෙන් කොවිඩ් මර්දනය කරමින් ගෙන යන මෙවැනි වැඩපිළිවෙලවල්හි සාර්ථකත්වය ඉතා අගය කරන බවද ඒ් සඳහා ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ඒ මහත්මිය කීවාය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙවැනි වැඩපිළිවෙලවල් සඳහා නිරන්තරයෙන් ලබා දෙන සහයෝගයට ස්තූතිය පිරිනැමෙන බවත් එම සහයෝගය තුළින් වඩාත් සාර්ථක වැඩපිළිවෙලක් කරා යාමට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය. ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල තුළින් රෝහල් ගත කෙරෙන ප්‍රමාණය 1.4% ක පමණ අවම ප්‍රමාණයක් වන බවත් එනිසා මෙම වැඩපිළිවෙල අංශ කිහිපයකින්ම වඩාත් ඵලදායී යව බවත් අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය පරිපාලන නිලධාරි වෛද්‍ය Olivia Nieveras , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය, අධ්‍යක්ෂ (තෘතීයික සත්කාර) වෛද්‍ය අවන්ති කරුණාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya