පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් තබමින් ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීමට පියවර

    ඔක්තෝබර් 06, 2021

    මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් තබමින් ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් (Charted Institute of Journalist) පිහිටුවීමට තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (05) දිනයේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු හඳුනාගෙන දේශීය හා ශාස්ත්‍රීය ප්‍රමිතීන්ට අනුකුලව පාසල් පද්ධතියේ ජනසන්නිවේදනය විෂය හදාරන සිසුන්ට පවා යම් බලාපොරොත්තුවක් උද්දීපනය වන ආකාරයට මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් වෘත්තියමය වශයෙන් වරලත් මාධ්‍යවේදියෙකු වීමට අවස්ථාවක් උදාකර දීම මෙහි අරමුණ බව හෙතෙම කියා සිටියේය.

    එමෙන්ම, විද්‍යුත්, මුද්‍රිත මෙන්ම වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයන් තුළ දැනට නියුක්තව සිටින මාධ්‍යවේදීන් හට මෙහි වැඩි බරක් තබමින් අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත්, මෙමඟින් සහතික පත්‍ර පාඨමාලාව, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධිය මෙන්ම පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කර ගැනීමේ හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා කරුණු පැහැදිළි කරමින් කියා සිටියේය.

    මෙම කටයුත්ත සාමුහික ප්‍රයත්නයකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතරම එය සාර්ථක කර ගැනීම සඳහා කතෘවරුන්ගේ සංසදය සමඟ සාකච්ඡා කොට විද්වතුන්ගේ ඵලදායි යෝජනා අදිය ලබා ගෙන ඇති අතර, හෙට දිනයේ දී (07) විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංසදයත් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත ව තිබේ.

    ඒ අනුව, ලොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණ වන ප්‍රකාශනයේ නිදහස වඩාත් සුරකෙන ආකාරයට, දියුණු මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් මෙම ආයතනය පිහිටුවීමට කටයුතු කෙරෙන බවත්, ශ්‍රී ලංකා පදනම් ආයතනය-පැරණි රූපවාහිනී අභ්‍යාස ආයතනය යන භුමිය තෝරාගෙන විශ්වවිද්‍යාල පද්ධතිය සහ දැනට විශ්වවිද්‍යාල තුළ සිටින විද්වතුන්ගේ සහය ලබාගෙන මෙම කටයුත්ත සාර්ථකව කර ගැනීමට ඉදිරි කාලයේ දී ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී.

    මෙම ආයතනය පිහිටුවීම වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ තමන්ගේ ජිවිතයේ ද වැදගත් අනුස්මරණිය සටහනක් වනු ඇති බව ද, පොදු ජන කලාවක් වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක් ලෙස මේ සඳහා ඒකමතිකව අනුමැතිය ලබා දුන් ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya