පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනේ

    ඔක්තෝබර් 07, 2021

     මධ්‍යම පළාත් සභාව යටතේ පැවති නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම (6) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් එයට අදාළ ලිපිගොනුව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දීම සිදු විය.

    වතුකරයේ ජනතාවගේ ප්‍රධානතම රෝහලක් ලෙසින් සැලකෙන මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම තුළින් එම ජනතාව ඇතුළු අනෙකුත් පිරිස් උදෙසා වඩාත් ඵලදායී සේවාවක් එමගින් සැපයීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

    විශේෂයෙන් මේ වන විට රජය මෙරට සෞඛ්‍ය පද්ධතිය උදෙසා විශාල මුදලක් වැය කරමින් සිටින බවත් එය රටේ ජනතාවගේ නිරෝගී පැවැත්ම මෙන්ම සුරක්ෂිතතාවය උදෙසා රජය මගින් ගනු ලබන ඉහළම සාධනීය පියවරක් බවත් ඒ මහතා කීය.

    මහනුවර , පේරාදෙණිය යන රෝහල් වල සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ඊට මධ්‍යම රජයට පවරා ගැනුණු නාවලපිටිය රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතුද එයට සමගාමීව කඩිනම් කරන බවත් ඉන් පළාතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත්සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

     

    1886 මධ්‍යම බෙහෙත් ශාලාව ලෙස ආරම්භ කෙරුණු නාවලපිටිය රෝහල 1977 දී මූලික රෝහලක් බවට පත්ව ඇත. අනතුරුව 2004 වසරේදීී එය දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කෙරිණි. ලක්ෂ 5 ක පමණ පිරිසක් ඉලක්ක කර ප්‍රතිකාර කෙරෙන මෙම රෝහල තුළින් ලක්ෂ තුන හමාරක පමණ වතුකරයේ ජනතාවක් ප්‍රතිකාර ලබා ගැනේ. දැඩි සත්කාර ඒකකයක් , නොමේරූ ළදරු ඒකකයක්, ශල්‍යාගාර හා හදිසි ප්‍රතිකාර ඒකකයකින් සමන්විත මෙම රෝහලේ රෝගී ඇඳන් 450 ක් සඳහා පහසුකම් මේ වන විට සලසා ඇත.

     

    මධ්‍යම රජයට රෝහල පවරා ගැනීම තුළින් එම රෝහලේ මානව හා භෞතික සම්පත් ඉහළ නංවමින් අනෙකුත් රෝහල්හි තදබදය අවම කිරීමට හැකිවනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා කීය.ඒ අනුව මහනුවර, පේරාදෙණිය,නුවරඑළිය,දික්ඔය, හැටන්,ගම්පොළ ඇතුළු රෝහල්වල තදබදය මින් අවම කිරීමට හැකිවනු ඇත.

     

    මධ්‍යම රජයට පවරා ගැනුණු නාවලපිටිය රෝහලේ දැනට පවතින හෙද හිඟය ඇතුළු අනෙකුත් ගැටලු නිරාකරණය කර දී පළාතේ ප්‍රධානතම රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එච්.එම්.ජයවික්‍රම , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් , මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන්ද සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya