“රසායනික චිකිත්සා” පිළිකා ප්‍රතිකාරවල අතුරු ප්‍රතිඵලයක් ලෙස අහිමිවන හිසකෙස් වෙනුවෙන්, වැඩිවන හිසකෙස් පළඳනා අවශ්‍යතාවය සපුරාලීම සහ හිසකෙස් අහිමිවීම නිසා මානසික හා සමාජ කම්පනයට පත් කාන්තාවන් දිරිමත් කිරීම අරමුණුං කොටගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 30,000 ක් පමණ වාර්තා වන අතර, මින් 15,500 ක් පමණ කාන්තාවන් වේ. මෙම ජාතික ව්‍යාපෘතිය වෙතින් ස්වභාවික හිසකෙස් පළදනා 6000 ක් වාර්ෂිකව පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරනු ලබන අතර, එම වැඩසටහනේ පළමු අදියරේ දී මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහල, යාපනය තෙලිප්පලෙයි මුලික රෝහල, රත්නපුර පළාත් මහ රෝහල, මඩකළපුව ශික්ෂණ රෝහල යන රෝහල්වල පිළිකා රෝගීන් වෙත මෙම ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.
පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුකරනු ලබන ප්‍රතිකාර නිසා කාන්තාවන් පත්වන මානසික පීඩනය, සංකූලතා හා සමාජ කම්පනය මගහැරවීමට මෙම ස්වභාවික හිසකෙස් පළදනා ලබාදීමේ ව්‍යාපෘතිය හේතු වනු ඇති බවත්, පිළිකාවෙන් පෙළෙන කාන්තාවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් සැපිරීමට කටයුතු කිරිම ඇගයීමට ලක්විය යුතු කරුණක් බව මෙම ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා කියා සිටියේ පිළිකා රෝගී තත්ත්වය නිසා කාන්තාවන් මුහුණ දෙන අභියෝගාත්මක පසුකම්පනකාරී තත්ත්වයක් හැටියට තම හිසකෙස් අහිමිවීම පෙන්වා දිය හැකි බවත්, කාන්තාවන්ගේ මානසිකත්වය ඉහළ නංවමින් සිදු කළ මෙම කාලෝචිත පරිත්‍යාගය සදහා දායක වූ සියළු දෙනාට සිය ස්තූතිය පුද කරන බවයි.
ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලයේ සම්බන්ධීකරණ සහයෝගය සමග ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට සහ ගල්කිස්ස සිංහ සමාජයන් සමග එක්වෙමින් හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ “කුමාරිකා” විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, ශ්‍රී ලංකා පිළිකා වෛද්‍ය විද්‍යාලයේ ලේකම් වෛද්‍ය සචිනි මලවිආරච්චි, විධායක අධ්‍යක්ෂක/ හේමාස් හොල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.