2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදය නොවැම්බර් 12 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අනුව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් 12 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.
අනතුරුව සෙනසුරාදා ද ඇතුළුව නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ඉන්පසු නොවැම්බර් 22 වැනි සදුදා ප.ව 5.00ට දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
ඉන්අනතුරුව නොවැම්බර් 23 වැනි අගහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණයවී ඇත. අනතුරුව දෙසැම්බර් 10 වන දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
අයවැය විවාදය කාල සීමාව තුළ පාර්ලිමේන්තුව පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා විනාඩි 30 ක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05 ක් සදහා වෙන්කර ඇත.
මෙම කාලසීමාව තුළ දෙවැනි වර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10.00 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙන අතර ප.ව 12.30 - ප.ව 1.00 අතර කාලය දිවා විවේකයට වෙන් කර ඇත.
මේ අතර ඡන්ද විමසීම් පැවැත්වෙන නොවැම්බර් 22 සහ දෙසැම්බර් 10 වන දින හැර විවාදය පැවැත්වෙන අනෙකුත් දිනයන්හිදී ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.