පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යාපනයේ පානීය ජල ගැටලුව ස්ථීර විසඳුම්

    ඔක්තෝබර් 08, 2021

    නාගදීප ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, යාපනයේ මෙතෙක් පැවති පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් ලැබෙන යාපනය නගර ජල නල පද්ධතිය හා තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිකරීම් (06) දින පෙරවරුවේ ආරම්භ කළේය.


    නාගදීපයේ පැවති උත්සව අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට සජීවීව එක්වූ අග්‍රාමාත්‍යතුමා, මාර්ගගත ක්‍රමයට තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීම් හා යාපනය නාගරික ජලසම්පාදන ජල නල පද්ධති ඇතිරීමේ කටයුතු ආරම්භ කළේය.


    යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ඔස්සේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 186කට ආරක්ෂිත නල ජලය සැපයීමට අපේක්ෂිත අතර මධ්‍යම රජයේ මුදල් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.


    තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය ඔස්සේ අධි තාක්ෂණික ජල පිරිපහදු තාක්ෂණයෙන් මුහුදු ජලය ආරක්ෂිත පානීය ජලය බවට පත්කිරීමට සැළසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය සහ යාපනය නාගරික ජලසම්පාදන ආරක්ෂිත ජල නල පද්ධති ඇතිරීම මගින් ලක්ෂ තුනක ජනතාවට සෙත සැළසෙන අතර එය 2023 වසර වනවිට අවසන් කිරීමට නියමිතව ඇත.


    යාපනය නගරය සහ ඒ අවට පවුල් එක් ලක්ෂ දොළොස් දහසකට පමණ නල මගින් ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව නව ව්‍යාපෘතිය ඔස්සේ හිමිවීම විශේෂත්වයකි. ජනතා අයිතියට පත් කළ නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය ඔස්සේ නාගදීප, අනලතිව්, එලුවතියිවු ජලය බෙදා හැරීම් විධිමත්වන අතර පවුල් 5000කට සෘජුව ප්‍රතිලාභ සැලසෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් කෙන්චි යොකුහාමා මහතා සූම් ඔස්සේ මෙම උත්සව සභාව ඇමතූ අතර අදාළ ජල ව්‍යාපෘති සඳහා සුබ පැතුම් එක් කළේය.

    නාගදීප විහාරාධිපති පුජ්‍ය නවඳගල පදුමකිත්තිතිස්ස නාහිමියන්, නාගදීප අම්මාන් කෝවිලේ ප්‍රධාන ගුරුකල් චාමදේව ගුරුකල් හින්දු පූජක තුමා ඇතුළු ආගමික නායකයන් සහ යාපනයේ ජනතාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට මෙම ව්‍යාපෘති ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් සිය ප්‍රණාමය ප්‍රකාශ කළහ.


    උතුරු පළාත තුළ දැනට පවතින සියයට 9.6ක් වන ආරක්ෂිත නල ජල පද්ධතිය 2025 වසරවනවිට සියයට 59.6 දක්වා ඉහළ නැංවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය මේ අනුව සැළසුම් කර තිබේ.


    ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා;
    “කිසිවෙක් පරාජය කිරීම නොව යුද්ධය අවසන් කිරීමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ එදා අභිප්‍රාය වුණේ. කීයක් වියදම් වුණත් යුද්ධයෙන් අහිමිවුණ උවමනාකම් ඔවුන්ට ලබාදෙන්න කියලා අග්‍රාමාත්‍යතුමා අපිව නිතර දැනුවත් කළා. වැඩිපුර වියදම් යනවා කියලා කැබිනෙට්ටුවේ සඳහන් කරපු වෙලාවෙත් අග්‍රාමාත්‍යතුමා කීයක් වියදම් වුණත් මේ ජල සම්පාදන ක්‍රමය අපි ඇති කළ යුතුයි කියලා කිව්වා.මේ සියල්ල උතුරේ පපිපාසයෙන් ඉන්න ජනතාව වෙනුවෙන්. එදා මගේ හදවතේ මල් පිපුණා. මේ ගලා යන පානීය ජලය සමඟ අග්‍රාමාත්‍යතුමාගේ හදවතේ කරුණාව හා සංහිඳියාව ගලා යන බව කිව යුතුයි.”


    ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවේර්තු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී විජයබන්දු, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් අරලියගහ මන්දිරයේ සිට උත්සව අවස්ථාවට එක්ව සිටියහ.


    නාගදීප ජල පවිත්‍රාගාරය විවෘත කරන අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරී පිරිසක් එක්වූහ

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya